වයඹ පළාතේ කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටයි.

කුරුණෑගල - කොළඹ පාරේ කඳුරුගස් හන්දියෙන් වමට හැරී ගිය විට අමුණුවත්ත, හේනමුල්ල, අංක 807 ග්‍රාම සේවා වසමේදී හමුවේ.

වීරමුණ්ඩ දේවාලය යනු ඉපැරැණිම යුගයකට නෑකම් කියනු ලබන දේවාලයකි. වීරමුණ්ඩ දෙවියන් යනු ඉන්දීය රාජ වංශයකට හිමිකම් කියනු ලබන රජ කුමාරයකු බවට ජනප්‍රවාදවල සඳහන් වේ. පුරාණයේ ඉන්දියාවේ මලයාල දේශයේ සේරුමහන් නම් රජකු විය.

එම රජුට සෝමතීර්ථ, කාම තීර්ථ හා මලල තීර්ථ නම් පුතුන් තිදෙනකු සිටියේය. රාජකීය තේජස නිසාම මොවුහු ඉතා කොළිලෝල්ව, නොහික්මුණු ලෙස ප්‍රචණ්ඩකාරීව තම ජීවිත ගෙන ගියහ. රටවැසියෝ මෙයින් මහත්සේ කලකිරීමට පත්ව තමන්ට පුත් කුමරුන්ගෙන් අත්විඳින්නට වන ගැහැට පිළිබඳ රජුට පැමිණිල කළහ. මෙයින් කෝපයට පත් මලයාල සේරුමහන් රජතුමා යහළු මිතුරන් 500ක් දෙනකු සමඟ පුතුන් රටින් පිටුවහල් කළේය. දිඹුල් දඬු හෙවත් අත්තික්කා ලීයෙන් තැනු නැවක නංවා මේ පිරිස පිටත් කර හැර තිබුණි.

මුහුද මැදදී මේ නැව කැඩී බිඳී අනතුරටපත්ව සියලු දෙනාම මරු දුටහ. මියගිය පසු කුමාරවරු තිදෙනා දෙවියන් වී උපත් ලැබුවේ පෙර පින් මහිමයක් අනුවය. එනම් කාශ්‍යප බුදුරදුන් සමයෙහි තිදෙනාම කිරි ආහාර දානයක් පූජා කළ පින් මහිමයෙනි.

යකඩ නැවක නැගී මුහුදු ගමනක යෙදෙමින් ලංකාව බලා පැමිණෙමින් සිටි මේ කුමාරවරුන් දැක විල්බාවේ පත්තිනි දෙවොලේ සි්ටි පත්තිනි දෙවියන් පවා බියට පත් වූ බව කියැවේ. ඒ අනුව කුමාර බණ්ඩාර, රිදී බණ්ඩාර හා වීරමුණ්ඩ යන දෙවිවරු අතරින් මෙම දෙවොලට අධිපතිත්වය දැරුවේ වීරමුණ්ඩය. මේ වීරමුණ්ඩ ඉපැරැණි දෙවොලේ අදත් විවිධ පුද පුජා පැවැත්වේ. පාරම්පාරික කපු මහතෙකු විසින් දේවාලේ රාජකාරී කටයුතු සිදු කරයි.

Location name: 

ඓතිහාසික වීරමුණ්ඩ දේවාලය