කුමන්ත්‍රණයකින් පසු වත්හිමි බණ්ඩාර රජු මිය ගියේය ය. එතැන දෙවොලක් ඉදි විය. එය ගලේ බණ්ඩාර දෙවියන් වෙනුවෙන් පුද කරනු ලැබූවකි. ගලේ බණ්ඩාර දෙවියන් යනු කුරුණෑගල රාජධානියේ පළමුව රජ කළ දෙවැනි බුවනෙක බා රජුටත් ඔහුට දාව මුස්ලිම් කාන්තාවකටත් උපන් පුත් කුමරා ය.

රජු මිය ගියේ ඇතුගල ප්‍රපාතයට ඇද වැටීමෙනි. මෙයින් රජුගේ හිස කඳින් වෙන් විය. තන්හාව අධිකව සිටි රජකු නිසා මිය ගිය සැනින් රජු යක්ෂයකු වී උපත ලැබීය. ඉන් පසු යක්ෂයා පිරිත් දෙසමින් සිටී ශ්‍රමණ වේෂධාරීන් 64 දෙනෙකුගේ බෙලි කඩා ලේ බිව් බවත් නගරය පුරා සැරි සරමින් මිනිසුන් භීතියට පත් කළ බැව් කියැවේ.

කතරගම දෙවියන් විසින් මෙම යක්ෂයාව යටත්කොට අල්වාගෙන කුරුණෑගල මඩමේගම පන්සලට රැගෙන ගොස් නවගුණ වැලක් පළඳවා සීලයේ පිහිට වූ බව සඳහන් වේ. එතැන් පටන් දේවත්වයෙන් පිසුම් ලද ගලේ බණ්ඩාර යක්ෂයා දෙවියන් බවට පත් විය.

ගලේ බණ්ඩාර දෙවොල ඔහු නමින් කැපවිය. මියගිය රජුගේ කවන්ධය රැගෙන ගොස් ඉස්ලාම් ධර්මයට අනුව දෙවොලක් කළ බවත්, එතැන් පටන් මුස්ලිම්වරුන් විසින් පැවත ගෙන යනු ලබන තවත් ගලේ බණ්ඩාර දේවාලයක් ගොඩනැගුනු බවත් කියැවේ.

පාතිමා නොහොත් ෂෙහෙරාන් දේවාලය යනු එයයි. ගලේ බණ්ඩාර දෙවියන්ගේ ආභරණ ලෙස අත් හළං, පා හළං, උර හළං, උර බන්දිය, මල් දම, සඟල, බඳපිටිය, තැලි මාල, තිලකය, නෙත් අඳුන්, සුදු අශ්වයා, කඩුව, ත්‍රිශූලය යනාදිය භාවිතා වේ. පුරාණ චාරිත්‍ර අනුව යමින් මෙහි සෑම වසරකම මංගල්‍යක් පැවැත් වේ. එය අප්‍රේල් මස දී පැවැත් වේ.

දේවාලෙහි දොර ඇර විවෘත කරන මංගල්‍ය සිංහල අවුරුදු චාරිත්‍ර හා බැඳී ඇති බව පෙනේ. හිස තෙල් ගෑමේ චාරිත්‍රය, මුරුතැන් පූජාව දේවාලය තුළ සිදුකෙරේ. ගලේ බණ්ඩාර දෙවියන්ට අමතරව විෂ්ණු, කතරගම, පත්තිනි, දැඩිමුණ්ඩ, නාථ, සූනියම්, කම්බිලි, රත්න කම්බිලි, කඩවත් යන දෙවිවරු හැරුණු විට සීරි යක්ෂයා, සොහොන් යක්ෂයා ආදී යක්සයන් සඳහා ද පුද සත්කාර කෙරෙනු දැකිය හැකිය.

Location name: 

ඵෙතිහාසික ගලේ බණ්ඩාර දේවාලය