සියලු සත්ත්වයන් වෙත අනුකම්පාවෙන් සක්විති රජ සැප හැර ගිය සිදුහත් කුමරාණෝ නේරංජනා නදී තෙරට ළඟා වූහ. මහා රාත්‍රියේම කන්ථක අසුපිටින්, ඡන්න ඇමැතියා කැටිව පැමිණි සිද්ධාර්ථ රජකුªමරාණෝ ජීවිතයේ සියලු සැප සම්පත් අත හැරියහ. රාජාභරණ ගලවා ඇමති අත තබා රජමාලිගයට පිටත්කර හැරියේ ය. කඳුළු සලමින්ම ඡන්න අමාත්‍ය තෙමේ රජමාලිගයට පියවර නැඟු අතර, තම ස්වාමියාගේ වියෝව ඉවසාගත නොහැකිව කන්ථක අසු ළය පැලී මිය ගියේ ය. තම ප්‍රියාදර බිසව වූ යශෝධරාවත් කුළුඳුලේ උපන් රාහුල කුමරුන් අතහැර ලෝකයේ සත්‍ය ගවේෂණයට පෙරමඟට පිවිසියහ. ලොව ඇති යථාර්ථය ලෝක සත්ත්වයාට මැනවින් අවබෝධ කරනු වස් සියලු කෙලෙසුන් නසා ලොව්තුරා බුද්ධත්වයට පත් වූයේ වෙසක් පුන් පොහෝ දිනකදීය. ඒ අයුරින් ම උපතත්, පිරිනිවීමත් සිදු වුයේ වෙසක් පුන් පොහෝ දිනක වීම ආශ්චර්යමත් සිදුවීමකි. මේ උතුම් තෙමඟුල සිහිකිරීම, බෞද්ධයන්ගේ අතිමහත් ගෞරවයට පී‍්‍රතියට හේතුවන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ අභිමානවත් පුජෝපහාරය නිමිතිකොටගෙනය.

බුදු දහම ලොවපුරා ප්‍රචලිත වුයේ අවිහිංසාව, මෛත්‍රිය. සමානාර්ථතාව හා ජීවිතයේ ගැඹුර ප්‍රකට කළ දර්ශනයක් ලෙසය. බුදුන් වහන්සේ උපත ලැබුවේත් බුද්ධත්වයට පත්වුයෙත් පිරිනිවන් පෑවේත් මහා භාරතයේ වුවත් බුදු දහම අනාදිමත් කාලයක සිට පැවත එන්නේත් සුරක්ෂිත වුයේත් මේ ධර්මද්වීපය තුළය.

එසේ වුවද ලොව පුරාම සියලු ජාතීන්ගේ ගෞරවයට ද මේ උතුම් දහම පාත්‍ර විය. දෙවියකු, මැවුම් කරුවකු නොවුණාද, මනුෂ්‍යයකුට ලැබිය හැකි උත්තරීතරම, ශ්‍රේෂ්ඨතම, තත්ත්වය සලකා තම දර්ශනයේ යථාර්ථය, සමාජානුයෝජනය කිරීමට බුදුන් වහන්සේ ක්‍රියා කළ සේක. බටහිර ජාතීන් පවා ඒ සුවිශේෂ දහම දොහොත් මුදුන් දී පිළිගත්තේය. වසර දෙදහස් පන්සිය ගණනක් පුරා එය යුගයෙන් යුගයට ලොව බබලවමින් පැවැත එන්නේ බුදු දහමේ ගැඹුරු යථාර්ථය ලෝකයට අතඹුලක් සේ අවබෝධවන්නට ඉඩ හරිමිනි.

තෙමඟුල, බෞද්ධ සිත්සතන් අප්‍රමාණ බැතියෙන් නහවමින් සෑම වසරකම මැයි මස දී උදා වේ. තවත් ලෙසකින් එය වෙසක් මාසයයි. ගහකොළ සුවඳ මලින් බර වී බුදුපුදට සැරසෙන සේ පරිසරය බුද්ධ රශ්මියෙන් ප්‍රභාවත් වුවා සේය. බෞද්ධ සිද්ධාස්ථානවල ඝණ්ඨා නාදය පෙරදැරිව බොහෝ ආගමික වතාවත්වලින් සෙත් පිරිත් ස්වරය විහිදී යන්නේ ඒ වෙසඟේ ඇති පින්බර ආලෝකය සමඟ ය.

බුදු සිරිත නම් එය වේ. ලොව බොහෝ රටවල බුදු දහම පැවැතුනත් සුපිරිසුදු ථෙරවාදී බුදුදහම අපට ලැබී ඇත. එය චිරාත් කලක් තිස්සේ නිවි නිවී පහන්වන්නේ බුදු ගුණ අනන්තබව මුළු ලොවට පසක් කර දෙන්නටය. බුදුහු වදාළ නියතියන්ට අනුව මේ ලොව තුළම සියල්ල රැඳි ඇති බව අපට වැටහී අවසන් ය. ඒ නිර්මල බුදු වදනක් බුදුන්ගේ ශ්‍රී මුඛයෙන් අසන්නට අප පින්කර නැතුවා වුවද ඒ බුදු ගුණ පද අපට නිබඳවම ඇසේ.

එදා බුදුන් වහන්සේ පිරිනිවන් මංචකයෙකහි වැතිරුණු මල්ල රජ දරුවන්ගේ උපවර්ථන නම් සල් උයනෙහි දී බුදුන්ගේ ශ්‍රී දේහය මෙලොවින් තුරන් වී ගියේ අනන්ද හිමියන් ඇතුළු මහා සංඝයාගේ ධර්ම සංවේගයත්, දෙවි බඹුන්ගේ වැලපීමත් හමුවේය. එතැනි පටන් වසර 500ක් ගතවන තෙක් ලොව කොතැනකවත් බුද්ධ ප්‍රතිමාවක් ඉදිවුයේ නැත. එහෙත් බුද්ධ භක්තිය කරණ කොටගෙන සිරිපා ලකුණ, ධර්ම චක්‍රය, ධර්මාසනය, නෙළුම් මල වැනි සංකේතවලට බුදුන් සේ සලකා වන්දනමාන කළේ අප්‍රමාණවය.

ඒ අතරතුර කාලය, බුදුන් ජීවමානව වැඩ සිටි සමයෙහි සිරිලක බුද්ධ පාදස්පර්ශයෙන් තෙවරක්ම එකළු කළසේක. මයියංගනය, නාගදීපය, කැලණිය, පුදබිම් ඒ අනුහසින් ආලෝකමත් විය. මයියංගනයට වැඩම කළ මොහොතේම සුමන සමන් දෙවි ආරාධනයෙන් පසු ශ්‍රී පාද ලාංඡනය සමන්ත කුඨය මත වඩා හිදුවා මේ සිරිලක බුද්ධ රශ්මියේ පහසින් නහවා. දහම් දිවයිනක් බවට පත් කළසේක.

එදා මෙදා තුර දොහොත් මුදුන් දී බැතිබරව අප සමරන්නේ ඒ නිර්මල බුදුදහමේ අනුහස කැටි වූ වෙසක් උලෙළයි. නැතිනම් බුදුන්ගේ තෙමඟුලයි. ඒ තෙමඟුල සැමරීමට තව ඇත්තේ තව දින කිහිපක් පමණි.

මෙවර වෙසක් උලෙළ මහත් බැති සිතින් මෙන්ම උත්සව ශ්‍රීයෙන් සැමරීමට අපි සුදානම්ව සිටිමු. කෑගල්ල දිස්ත්‍රික්කයේ වට්ටාරම රජමහා විහාරය මුලිකව වෙසක් උළෙල බැති සිතින් සැමරේ. එලෙසම කොළඹ සහ මහනුවර කේන්ද්‍රකොට ගනිමින් රාජ්‍ය අනුග්‍රහයෙන් සියලු කටයුතු සිදුකෙරේ.

එක් අතකින් මෙය සියලු ජාතීන්ගේ එකමුතු බව සංකේතවත් කෙරෙන උලෙලක් ද වනු ඇත. එක්සත් ජාතීන්ගේ අනුග්‍රහයෙන් මෙම වෙසක් උළෙල 13 වරක් පැවැත්වී ඇති අතර මෙවර පැවැත්වෙන්නේ 14 වැනි වරටය. එළෙඹෙන මැයි මස 12,13 හා 14 වැනි දිනයන්හි පැවැත්වීමට නියමිතය. ඒ සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා සහභාගිවීමට නියමිතව ඇත.

මෙවන් අනුග්‍රහයක් මෙන්ම එම දින නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟිනි. තවද එහි ගෞරවය හිමිවන්නේ මෙරට සිටි කීර්තිමත් දේශපාලනඥයකු වූ ලක්ෂමන් කදිරගාමර් මහතාටය. එතුමා විසින් 1999 දී කළ යෝජනාවක් අනුව එක්සත් ජාතීන්ගේ සැලකිල්ල හා අනුග්‍රහය මේ සඳහා යොමුකරවා ගැනීමට හැකිවිය.

නන්දි අලුත්ගේ රත්නවීර

ඡායාරූප - නිශ්ශංක විජේරත්න

එක්සත් ජාතීන්ගේ වෙසක් උලෙළ