සිංහල අලුත් අවුරුද්ද උදා වන්නේ බක් මහේ සුන්දරත්වය සමගිනි.

සිංහල අලුත් අවුරුද්ද යනු අපගේ සංස්කෘතිකමය අගනා සිරිත් විරිත්, කෙළි සෙල්ලම්, ආදිය යළි පණ ගැන්වෙන , අපේකම ලොවට හ¼ඬ ගා කියන උලෙළක් බඳු ය. ගහකොළ මලින් පලින් බරවී සුවදායක සිහිල් සුළං රැළි පරිසරයට එක්කරන්නේ චමත්කාරයකි. වැඩිහිටියන් තුළ මෙන්ම බාල ළමා දූ දරුවන්ගේ හදවතේ ප්‍රීතිය නිම්හිම් නැත.

අලුත් ඇඳුම් පැලඳුම්, කැවිලි පෙවිලි ආදියෙන්, බත බුලතින් ගම්මැද්ද පිරී ඉතිරී යන්නේ මේ වසන්ත සමය අරමුණුකොට ගෙන ය. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම අරභයා ඡ්‍යෝතිෂමය වශයෙන් ද යම් යම් සිදුවීම් අලුත් අවුරුදු උදාව තුළ පෙළ ගැසී ඇත. සිංහල අලුත් අවුරුදු උදාවේ ප්‍රීතිය නිමිත්තෙන් විවිධ උත්සව පැවැත්වීම මෙන් ම රසාලිප්ත ජනකවි, ජන ගී,ආදිය අතීතයේ මෙන් ම අද ද යුගයෙන් යුගය අසන්නට ලැබේ. අතීතයේ සිංහල අවුරුදු සැමරීම තුළ චිරාත් කාලයක් තිස්සේ පැවත ආ ජන ගායනා අදටත් රසබර ය. ඒවා අතර ඔන්චිලිවාරම්, ඔළිඳ කවි, සිවුපද කවි ආදිය අපටම ආවේනික ඒවා ය. කෙළි සෙල්ලම්වල දී මේ ගී ගායනා කරනු දැකිය හැකිය. ඒවා ගායනා කරමින්, රඟ දක්වමින් කමතේ කෙතේ රංචු ගැසී අවුරුදු ප්‍රීතිය බුක්ති විඳීම එදා මෙන් ම අදටත් අලුත් අවුරුද්දට පොදු දෙයකි. අද වනවිට මේ අවුරුදු කෙළි සෙල්ලම් ශීඝ්‍රයෙන් අභාවයට යමින් තිබීම කනගාටුවට කරුණකි. වසරකට වරක් හෝ එයට නව ජීවයක් ලබාදීම හා අනුග්‍රහයක් දැක්වීම තුළින් මතුපරපුරට ඒවා රැකදීම සැබැවින්ම ප්‍රසංසා කටයුතු ය.

ඒවා අතර ඔළිඳ කෙළියේ යෙදෙන අතර තුර ගැයෙන ගී බොහොමයකි.

ඔළිඳ වැපුරුව ද බලකොයි නෑනෝ

එක්පෙති වෙච්ච ද බලකොයි නෑනෝ

මල්හට ගත්ත ද බලකොයි නෑනෝ

පලුහට ගත්ත ද බලකොයි නෑනෝ

 

දොඩම් කපාලා ඇඹුල් තනාලා

නාන්ට යන හැටි බලන් කලූ

සේලේ ඇඳලා නෙරිය තියාලා

මිදුලේ සක්මන් කරයි කලූ

 

දහසක් දීලා වළලු තනාලා

දෑතේ අතලා බලයි කලූ

දුනුකේ මල සේ උළුගෙයි ඇඳපිට

ඔළිඳ කෙළින හැටි බලන් කලූ

 

සිංහල අවුරුදු ක්‍රීඩා අතර ඔංචිලි පැදීම ජනප්‍රිය අංගයකි. ඔංචිලි වර්ග කිහිපයකි. රට ඔන්චිල්ලා, වැල් ඔන්චිල්ලා, කතුරු ඔන්චිල්ලා සහ බඹර ඔන්චිල්ලා යනුවෙනි. අපට වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ වැල් ඔන්චිල්ලාවයි.

 

ඔන්ච්ලි වාරම්

සතර දෙනයි අප ආවේ ඔක්කොම

සතර අතට සොඳ කැරකෙන ගෙත්තම

සතර අතට අල්ලන මාලක්කම

කතරගමට බාරයි අප ඔක්කොම

 

අටදෙන අටකොන වාඩිවෙයල්ලා

සිටගෙන දෙන්නෙක් පොලු පාගල්ලා

වවුලන් ලෙස කරකෙන ඔන්චිල්ලා

අපිත් පදිමු දැන් රන් ඔන්චිල්ලා

 

එළුවන් කෑම ද ජන ක්‍රීඩාවකි.

එළුවන් කන්නයි මං ආවේ

එළුබෙටි කාපං මහරාලේ

මෙතනින් පැන්නොත් තල්ල කැඩෙයි

මෙතනින් පැන්නොත් බෙල්ල කැඩෙයි

මෙහෙම නටන්නම් රළහමි දෙනවද එළුවා

කොච්චර කිව්වත් නොදෙනෙමි අපගේ එළුවා

 

මේ ජන ක්‍රීඩාව නාට්‍යාණුසාරයෙන් සිදුවන්නකි. එළුවන් කෑමට පැමිණි

කොටියකු හා පිරිස අතර ඇතිවන දෙබසක් ලෙස සිදුවෙමින් රඟ දැක්වේ.

 

රබන් ගැසීම හා රබන් පද ද ජන ගී අතර වඩාත් ප්‍රකට ය.

 

ලොකු රබානක් වටා වාඩි වී ගත් කාන්තාවන් පිරිසක් රබානට රිද්මයකට අත්වලින් තට්ටු කරමින් රබන් කවි ගායනා කරයි.

උඩින් උඩින් වර පෙත්තප්පු

බිමින් බිමින් වර පෙත්තප්පු

උඩින් උඩින් වර බිමින් බිමින් වර

කැවුම් කන්න වර පෙත්තප්පු

 

උඩ පළගත්තත් වට්ටක්කා

බිම පළගත්තත් වට්ටක්කා

උඩ පළගත්තත් බිම පළගත්තත්

පුංචි පුංචි ගෙඩි වට්ටක්කා

 

පානදුරේ ළඟ පාංකඩේ ළඟ

ගෑනු හරක් බඳිතෙයි

මෙච්චර මේ ගම පිරිමි සිටිත්දිත්

ගෑනු හරක් බඳිතෙයි

තෙතෙයි තෙයි ගෑනු හරක් බඳිතෙයි

 

පොර පොල් ගැසීම

රෝගාබාධ සඳහා ශාන්ති කර්මයක් වශයෙන් ද කෙරෙන මේ ක්‍රීඩාව පත්තිනි දෙවියන් උදෙසා කැප වූවකි. ක්‍රමයෙන් අභාවයට යමින් පවතින මේ ක්‍රීඩාව පිරිමි පාර්ශ්වයේ නියෝජනයෙන් සිදුකෙරේ. අවුරුදු උත්සවවල දී එක් තරග ඉසව්වක් ලෙස දැකිය හැකිය.

 

එරන් තැඹිලි පොල් අරගෙන සුරතට

වරම් ලැබිණි ගිනි පත්තිනි අපහට

සියක් රෝග දුරුවෙයි ගිනි හැළඹට

බිඳුනා උඩුපිලයේ පොල් හනිකට

 

පනා හැංඟීම

වර්තමානය වනවිට අභාවයට යමින් පවතින ගෘහස්ථ ක්‍රීඩාවක් වන මෙහි දී ගැයෙන ගී කාන්තාවන් අතර ප්‍රකටය.

 

දියන් නෑනො පනාවා

අපි නොදනිමු පනාවා

හිස පීරන පනාවා

අපි නොදනිමු පනාවා

දෙවුන්දරින් ගෙනාවා

අපි නොදනිමු පනාවා .

ආදී වශයෙන් ගැයේ.

 

මේවර කෙළිය

කාන්තාවන් සඳහා වෙන්වුණු ක්‍රීඩාවක් මෙන්ම එහිදී ගැයෙන රසාලිප්ත ගායනා බොහෝ ය. කරාබුවක්, වළල්ලක් වැනි නැතිවුණු යමක් සොයන ආකාරයෙන් මෙහි දී නාට්‍යාණුකරණයෙන් රඟ දැක්වේ.

කොස්වතු කන්දේ කොස් කොටනා දා

වළගිය දෝ මගෙ මේවරයා

නෑනෝ නුඹපල් නුඹ දරුවන්පල්

අප දුටුවේ නැත මේවරයා

කොටන පොලන තැන

පොල් අඹරන තැන

වළගිය දෝ මගෙ මේවරයා

නෑනෝ නුඹපල් නුඹ දරුවන්පල්

අප දුටුවේ නැත මේවරයා

 

මේ ආදී වශයෙන් අප ජන සංස්කෘතිය තුළ නින්නාද දෙන ජන ගී ගායනා තවත් බොහොමයක් වේ. සිංහල අලුත් අවුරුද්ද උදාවන විට මේ ගායනා සිව් දෙසින් අසන්නට ලැබීම මහත් ප්‍රීතියට කරුණකි.

අභාවයට යා නොදී රැකගතයුතු මේ නාද රටා තවත් කාලයක් පුරා ඉදිරි පරපුරට අසා දැක ගැනීමට සැලස්වීම අප විසින් කළ යුත්තකි. ඒවා රැකගැනීම අපගේ යුතුකම වේ.

 

(පාරම්පරික ජන ගී ග්‍රන්ථයක් අසුරිනි.)

නන්දි අලුත්ගේ රත්නවීර

ඡායාරූප - නිශ්ශංක විජේරත්න

සිංහල අලුත් අවුරුදු ජන ගී