බක් මාසය හෙවත් බක් මාසය යනු වාසනාවන්ත මාසය නැතහොත් භාග්‍යවන්ත මාසය ලෙස පොදු පිළිගැන් ම වී තිබේ. සූර්යා මීන රාශීයේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟ මිනිසා පමණක් නොව ගහ කොළ, සතා සිවුපවා ද වෙනදා නොතිබුණ ප්‍රබෝධයකින් හා උද්යෝගයකින් මේ වකවානුව තුළ හැසිරෙති.

එපමණක් නොව වසර පුරා සැගව තිබෙන බොහෝ ජන ගී,ජන කතා,ජන කවි, ජන සංගීතය,ජන නාට්‍ය මෙන් ම ජන ක්‍රීඩා ද මේ මාසය තුළ සෑම නිවසකින් ම, ප්‍රදේශකින් ම, පළාතකින් ම එළියට එනු දැකගත හැකිය.

සද්ධර්ම රත්නාවලියෙ හි අගසවු වනෙහි යන්නෙහි සඳහන්ව ඇත්තේ එකළ ගිරග්ග සමජ්ජ නම් උත්සවයක් ගැන ය. ඒ රජගහ නුවර අවුරුදු පතා පර්වතයක් මුදුනෙහි හෝ පරිවතයෙහි සෙවණැල්ල යට එම උත්සවය පැවැත් වෙන හෙයින් එය ගිරග්ග සමජ්ජ ලෙස හඳුන්වා තිබේ.

එපමණක් නොව රජගහ නුවර සහ කෝලිත නුවර වැසියන් ද අලුත් අවුරුද්ද සමරා තිබෙන බව අතීත තොරතුරුවල සඳහන් ඇත.

මෙරට පළමු සිංහල අලුත් අවුරුදු උත්සවය 1914 අප්‍රේල් මස 14 වන දින කොළඹ කේන්ද්‍ර කරගනිමින් සිංහල තරුණ සමිතිය මඟින් පැවැත් වූ බව ඊට පසු දින ඡායාරූප සහිතව දිනමිණ පුවත්පත පළකර තිබිණි.

සිංහල හින්දු අලුත් අවුරුද්දේ සියලු චාරිත්‍ර වාරිත්‍රවලින් පසු බොහෝ දෙනාගේ අවධානය යොමුවන්නේ බක් මහ උළෙලට ය.

අතීතයේ සිට පැවැත ආ ජන ක්‍රීඩාවලට මුල් තැන දෙමින් මෙම උළෙල පැවැත් වෙන අතර එම උත්සවය සඳහා ගම්වල වෙසෙන සෑම කෙනාම එක් වී සහෝදරත්වයෙන් එකා මෙන් ක්‍රීඩාවල නිරත වීම මෙහි දී දැකගත හැකිය.

එළිමහන් ක්‍රීඩා, ගෘහස්ථ ක්‍රීඩා, ආගමානුකූල ක්‍රීඩා, ත්‍රාසජනක ක්‍රීඩා සහ සතුන් මුල්කර ගනිමින් සිදුකරන ක්‍රීඩා ලෙස මෙම ක්‍රීඩා ප්‍රධාන වර්ග 05 කට බෙදා දක්වා තිබේ.

මෙම සෑම ජන ක්‍රීඩාවක් ම පැවැත් වීමේ අරමුණ වන්නේ ජනතාව අතර සමඟිය, සංහිඳියාව, කායික හා මානසික නිරෝගිකම මෙන්ම සහෝදරත්වයෙන් කණ්ඩායමක් ලෙස එකමුතුව වැඩ කිරීමේ හැකියාව ඇති කිරීම ය. මීට අමතරව ශක්තිය ,ජවය, නායකත්වය, ඉවසීම, දරා ගැනීම,සමබරතාව ආදී ගුණාංග වර්ධනය කිරීම ද මේ මඟින් සිදුකෙරේ.

ඔළිඳ කෙළිය, පංච කෙළිය, අං ඇදීම, රබන් වාදනය, එළුවන් කෑම, චක්ගුඩු,එල්ලේ, තාච්චි, වළ කජු, තිරික්කල් රේස්, ගල් කෙටීම, නෙරංචි ඇදීම පොර පොල් ගැසීම, ග්‍රීස් ගසේ නැගීම, කඹ ඇදීම, ගම හරහා දිවීම මෙන්ම විවිධ ක්‍රීඩා රැසක් බක් මහ උළෙලවලදී දැකගත හැකිය. එහෙත් මෙම ජන ක්‍රීඩා රැසක් මේ වන විට කට වචනයට හා පොතට පමණක් සීමා වී තිබේ.

බන්දුල කේ ආරියපාල මහතා විසින් දේශීය ජන ක්‍රීඩාවන් 137 ක් තිබුණ බව සොයා ගෙන ඇති අතර “හෙළ ජන කෙළි සෙල්ලම්” නමැති කෘතිය රචනා කළ රෝහිණී කුමාරි මහත්මිය මෙරට ජන ක්‍රීඩා 120 ක් පිළිබඳ ව එම කෘතියේ සඳහන් කර තිබේ.

අද වන විට අතීතයේ පැවැත ආ ක්‍රීඩා වෙනුවට නව ක්‍රීඩා රැසක් එකතු වී තිබේ. සත පහ සෙවීම, පැපොල් ගෙඩියේ ඇට ගණනය කිරීම,බනිස් කෑම. බැලූන් පිපිර වීම, හොඳම තට්ටයා, බඩා තේරීම වැනි වැනි ක්‍රීඩා මේ අතර වේ. එහෙත් අතීතයේ සිට පැවැත ආ තරගවලින් බලාපොරොත්තු වන අපේක්ෂාවන් අලුතෙන් එකතු වු ක්‍රීඩාවලින් ඉටු වෙනවා දැයි ප්‍රශ්නයක් පැන නැගිනු ඇත.

 

නුවන් කොඩිකාර

ඡායාරූප - නිශ්ශංක විජේරත්න

බක් මහේ ජන ක්‍රීඩා