සුප්‍රකට බාවා පරපුරේ නිර්මාණශීලී තවත් එක් නිර්මාණයක් ලෙස බාවා උද්‍යානය සංචාරක ආකර්ශනයක් ලෙස දෙද්දූව ගම්මානය තුළ දෙද්දූව ගඟට සමීප වී ඉතා මනරම් දසුනක් ලෙස මෙය ස්ථානගත කොට ඇත. ලුණු ගඟ වත්ත යනුවෙන් හැඳින්වෙන මෙම උද්‍යානයෙහි නිර්මාතෘ වන්නේ ප්‍රකට ගෘහනිර්මාණ ශිල්පියකු වූ ජෙෆ්රි බාවා මහතා ය. 


ජෛව විවිධත්වයෙන් මෙන්ම ස්වාභාවික සෞන්දර්යයෙන් අනුන සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථානයකි. බෙන්තොට ආශි‍්‍රත සංචාරක කලාපය තුළ මෙම උයන කාගේත් අවධානයට ලක් ව තිබේ. අතිශය නිස්කලංකව විවෙක සුවය විඳීමටත් අධ්‍යාපන කටයුතුවල නිරතවීමටත් මෙය මනා තෝතැන්නක් වී ඇත. දැවැන්ත රූස්ස ගස් හා අරලියා ගස්වලින් සෙවණලත් ලුණුගඟ වත්ත නිල් වෙරළු වැනි ඉතා දුර්ලභ වෘක්ෂ ලතාදියෙන් සැකසී ඇත. තෙත් කලාපයට නෑකම් කියන්නා වූ මීවන ජලජ ශාකවලින් ඉතා අලංකාර ලෙස පිරී පවතින බිම්කඩකි. 

ජෙෆ්රි බාවා යනු මෙරට ඉහළ පෙළේ කුසලතා දැක් වූ ගෘහනිර්මාණ ශිල්පියෙකි. ශ්‍රී ජයවර්ධන පුර පාර්ලිමේන්තුව, කණ්ඩලම හෝටලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය වැනි උසස් කෘතීන් නිර්මාණය කිරීමෙන් සම්භාවනාවට පාත්‍ර වූ ජෙෆ්රි බාවා මහතාගේ නිර්මාණශීලී කුසලතාව ලොවට හෙළිකළ තවත් දර්ශනීය නිමැවුමකි. 
උද්‍යානයේ එක් පසෙකින් සුන්දර දෙද්දූව ගඟ දර්ශනය වේ. තණ පියස මන බඳනා සිත්ගත් තැනකි. පරිසර හිතකාමී ලෙස තැනූ ගෘහයන් 6කින් ද මෙම උදා්‍යානය සමන්විතය. පරිසර සුන්දරත්වය නොනසා මනහර විල් හා වගුරු ඒ අතරින් පෙනෙන විවේක සුවය විඳීමට හැකි වන පරිදි සාදා ඇති බංකු පෙළක් තැන තැන දැකිය හැකියි. පිහිටි පොළොවේම සාදා ඇති යම් යම් නිර්මාණ එහි සුන්දරත්වය තවත් වැඩි කරනු පෙනේ. බාවා මහතා විසින් පරිහරණය කළ කෞතුක භාණ්ඩ රැසක් ප්‍රදර්ශනයට තබා ඇත. බැලු බැලු අත දක්නට ලැබෙන්නේ සොබා දහමේ සබැඳියාවට නෑකම් කියන දසුන් ය. 
මෙහි ඇති බොහෝ දේ නවීකරණය නොකොට ඒ අයුරින් ම පවත්වාගෙන යාමට උත්සාහ ගෙන තිබීම විශේෂත්වයකි. දැනට මේ බාවා උද්‍යානය පාලනය වන්නේ ලුණු ගඟ පදනම මගිනි.  මෙහි ඇති සිත්ගන්නා සුලුබව විස්තර කිරීමට අකුරු කරනවාට වඩා ඔබ දෑසින් දැකබලා ගැනීමෙන් එහි සුන්දරත්වය සැබෑ ලෙසට විඳගත හැකිය.

නන්දි අලුත්ගේ රත්නවීර
ඡායාරූපය - නිශ්ශංක විජේරත්න

 

 

 

 

 

 

 

 

Location name: 

බාවා පරපුරේ බාවා උද්‍යානය