අතිරස, කැවුම්, මුංකැවුම්, කොකිස් සුවඳ එරබදු මල්, කොවුල් හඬ බක් මහේ උදාව සනිටුහන් කරන්නකි. කැවිලිවලින් තොර අවුරුදු කෑම මේසයක් ගැන සිතිය නොහැකි ය. සෑම නිවෙසක ම කෑම මේස කැවිලිවල සිරියාවෙන් ඉතිරී යාම ද සුපුරුදු දසුනකි.

අපේ පැරැන්නෝ හකුරු සහ ගිතෙල් මිශ්‍ර බතින් පිළියෙල කළ රස කැවිලි බක්මහේ අඩුවක් නැතිව රස වින්දහ. ඔවුන් සෑම කාලයේම එලෙස පැණි රස භුක්ති වින්දේ නැත.

වසරේ බක් මහ ඔවුන් කිරියෙන් පැණියෙන් නැහැවුණු කාලය යි. බොහෝ රස කැවිලි ගිතෙල්, හකුරු එක්කර සාදනු ලබයි.

කිතුල් හකුරු ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මකව බෙහෙවින් ගුණදායක ය. මළ බද්ධය වැළැක්වීමට, අක්මාවෙන් අහිතකර විස ඉවත් කිරීමට, සෙම්ප්‍රතිශ්‍යාවට, ලේ පිරිසුදු කිරීමට, ප්‍රතිශක්තිය ඉහළ නැංවීමට, මාසික වේදනාව අඩු කිරීමට, රක්තහීනතාව වැළැක්වීමට, ආන්ත්‍රික කුඩා අන්ත්‍රයේ, මහාන්ත්‍රයේ සෞඛ්‍ය රැකීමට, රුධිර පීඩනය පාලනය කිරීමට, ස්වසන ගැටලුවලට, සන්ධි වේදනාවෙන් සහනයක් ලැබීමට, බර අඩුකර ගැනීමට, ශක්තිය ලබා ගැනීමට හකුරු හොඳ ආහාරයකි.

ගිතෙල් ද ජීර්ණය දියුණු කරන, පෝෂක උරා ගැනීමේ හැකියාවට වැඩි කරන, ආහාර මාර්ගය නිරෝගී කරන, සිරුරේ විස නසන, ඔසුවකි. එහෙත් අද වැඩි දෙනෙක් වසර පුරාම එක වාගේ පැණි රස ආහාර භුක්ති විඳිති. ඒ ලෙසම කැවුම් ගෙඩියට, මුං කැරැල්ලට, කිරිබත් කැටයට හිමි වු තැන කේක් පුඩිං අයිස් ක්‍රීම්වලට හිමි වී පවතී. ඒ නිසා වෙනදාටත් වඩා මේ සංස්කෘතික අංගය ගැන ගැඹුරින් සිතා බැලීමට කාලය එළඹී තිබේ.

නව වසරේ නැවුම් බව සංකේතවත් කරන්නක් ලෙස අලුත් අවුරුදු කෑම හැඳින්විය හැකිය. ඒ වාගේම විවිධත්වයෙන් යුතු අපේ රසකැවිලි නෙතට රසඳුනක් වන්නේ කුස ගිනි (කෑම රුචිය) වැඩි කරමිනි. තවත් ආකාරයෙන් මේ කැවිලි ආහාර සූර්ය දෙවිඳුන් වෙනුවෙන් කරන පුජාවන් බඳු ය.

අවුරුදු කෑම සෑදෙන්නේ අවුරුදු කාලයට ම පමණි.

කැවිලි ද එක්තරා ආකාරයක සමබල ආහාරයකි. එහි පිටි, තෙල් ලුණු ආදී බොහෝ දේ අඩංගු ය.

කැවිලි නව වසරේ සුබ සංකේතය යි. සූර්ය පූජාව යි. කුස පිරෙන ප්‍රධාන කෑමකට කෙරෙන රසවත් ආරාධනය යි. එහෙත් අප මතක තබා ගත යුතු ප්‍රධාන කාරණය වන්නේ කිසිදු කැවිලි වර්ගයක් කුස පිරෙන්න නොගත යුතු බවයි.

කිරිබත් යනු පහසුවෙන් ජීර්ණය නොවන ආහාරයකි. උක් හකුරු මිශ්‍ර කර සාදන ඉඹුල් කිරිබත් ජීර්ණයට වඩාත් අපහසු ය. කිරිබත් සුළු වශයෙන් ගත්ත ද බොහෝ කටයුතු කිරීමට ශක්තිය ලැබේ. ලුණු මිරිස් සමඟ කිරිබත් කෑමෙන් ජීර්ණය පහසු වේ. කිරිබතට ලුණු මිරිසක් හෝ කට්ට සම්බෝලයක් අවශ්‍ය වන්නේ ඒ නිසා ය. කිරිබත් ආහාරයට ගත් විට නිදිමත ඇති වීමට හේතුව එය පහසුවෙන් ජීර්ණය නොවීමයි.

කැවුම්, කෝණඩා කැවුම් ශක්තිය ජනනය කරන ආහාරයි. කැවිලි ඇත්තේ රස බැලීමටයි. කුස පුරා කෑමට නොවේ.

අපේ කැවිලි බොහොමයක් ගැඹුරු තෙලේ බැඳ සාදා ගනු ලබයි. එවැනි ආහාර ආමාශ දාහය (ගැස්ට්‍රයිටිස්) වලින් පීඩා විඳින්නන්ගේ රෝගී තත්ත්වය උත්සන්න කරයි. මුං ඇටවලින් පිළියෙල කරන රසකැවිලි බොහොමයක් මුං ඇට බැද හෝ තෙල් සමඟ මිශ්‍රකර ආහාරයට ගන්නා නිසා ඒවායේ සීත ගුණය විනාශ වී ඕනෑම කෙනකුට ආහාරයට ගත හැකි තත්ත්වයට පත්වෙයි.

 

සටහන - චම්පිකා දීපානි රණසිංහ

ඡායාරූප - නිශ්ශංක විජේරත්න

විශේෂ ස්තූතිය - ආයුර්වේද වෛද්‍ය මහාචාර්ය එම්.එච්.ඒ. තිසේරා

අපේ අවුරුදු කෑම