අපේ‍්‍රල් මාසය යනු අව් රශ්මිය තදින් දැනෙන මාසයකි. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ප්‍රවිෂ්ට වීම ඊට හේතුවයි. හිරු කිරණ ඉතා තදින් පෘථිවිය මතට පතිත වීම මෙහිදී සිදු වේ. වැසි වැටුණ ද අව් රශ්මිය ඉතා තද බැවින් මනුෂ්‍යයන්ගේ ශරීරයේ උෂ්ණත්වය ද ඉහළ නගී. දහඩිය වැගිරේ. පතිත වන දැඩි අව් රශ්මිය හේතුවෙන් හිසේ කැක්කුම වැනි රෝගාබාධ ද හට ගනී. හිරු ගේ පාර ජම්බුල කිරණ මිනිස් සිරුර හරහා ගොස් මහ පොළොව හා සම්බන්ධ වේ.

එහිදී හිරුගේ විෂ කිරණ මිනිස් මොළයට බලපායි. සොබා දහමේ මේ විපර්යාසයට අනුව අපේ හෙළ සංස්කෘතියේ පිළිබිඹුව වන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්සවශ්‍රීයෙන් ගත කොට නිමාව දකින්නේ හිසට සත්කාරයක් කරමිනි. එය හිස තෙල් ගෑමේ මංගල්‍යය ලෙසින් හඳුන්වයි. අව් රශ්මියෙන් දැඩි ලෙස පීඩාවිඳි හිසටත්, මොළයටත් විරේකයක් ලබා දීම හිස තෙල් ගෑමේ චාරිත්‍රයෙන් සිදුවන බව ආයුර්වේද විද්‍යාවෙන් පෙන්වා දෙයි. ඒ ඒ වර්ෂවල ට අනුව හිස තෙල් ගෑමට අවශ්‍ය වන ඖෂධ වර්ග වෙනස් වේ. මහ පොළොවෙන් එන කිරණ පලවා හැරීමට පයට තබන ඖෂධ වර්ගයට හැකියාව ලැබෙයි. ඖෂධ ශාකවල යුෂ ගෙන නානු සාදා ගැනේ. අපේ හෙළ වෙදැදුරෝ මීට අති දක්ෂයෝ වෙති. නානු ගෑමෙන් වා, පිත්, සෙම ද දුරලයි. නිරෝගී භාවයක් උදා කරයි. මෙය හිසට කරන සත්කාරයක් පමණක් ම නොවේ. සර්වාංගයටම කරන සත්කාරයකි. හිසෙහි තෙල් ඇඹුල් (නානු) ගෑමෙන් ඒවා හිසේ රෝම කූපවලින් හිසට ඇතුළු වී සහනය ලබා දේ.

අපේ හෙළ රජ දරුවන් ද හෙළ වෙද පරම්පරාවලින් පැවත එන වෙදදුරෝ ද මෙය මහත් මංගල්‍යයක් සේ සලකා කටයුතු කළහ. වසරකට වතාවක් සිදු කෙරෙන මෙම කාර්යය ට රාජ්‍ය අනුග්‍රහය ද ලැබේ. ඉන් හෙළ සිරිත්, විරිත්, රැකෙමින් පෝෂණය වෙමින් ඉදිරියට ද පවතින්නේ ය. හෙළ සංස්කෘතිය තුළ මෙය ඉතා වැදගත් කොට සැළකෙන චාරිත්‍රයකි. අලි අතුන් ඇතුළු සත්ත්වයන්ට ද හිස තෙල් ගෑම සිදු කෙරේ.

නානු සාදා ගන්නා ආකාරය

මේ සියලු ඖෂධ සමව ගෙන වංගෙඩියක දමා හොඳින් කොටා ගත යුතුය. දැන් වතුර පත 08ක් යොදා 01ක් වන සේ සිඳ ගත යුතුය. අනතුරුව ඉහත සඳහන් සියලු තෙල් සමව ගෙන ඊට එක් කළ යුතුය. මද වේලාවක් කකාරා පදමට ආ කළ ළිපෙන් බා පෙරා ගත යුතුය. හිස තෙල් ගෑමේ මංගල්‍ය වෙනුවෙන් නානු හෙවත් තෙල් ඇඹුල් සාදා ගන්නේ ඒ ආකාරයටයි.

මෙවර හිසට නුග පත් ද පයට කරඳපත් ද යොදා ගැනේ. මේ ඖෂධ වසරින් වසර වෙනස් වේ. ජ්‍යෝතිෂයට අනුව ශරීරයට ඇතුළුවන විෂ කිරණ ශරීරයෙන් පලවා හැර ගත සුවපත් කිරීම මින් අර්ථවත් කෙරේ.

නානු සෑදීමට අවශ්‍ය ඖෂධ,

1.සත්සඳ මුල්

2.ගොඩ මානෙල් අල

3.කළාදුරු අල

4.නෙළුම් රේණු / අල

5.කස්තුරි

6.ගෝරෝචන

7.කපුරු

8.කුං කුනප්පු

9.නාමල්

10.සුදු හඳුන්

11.සුවඳ කොට්ටං

12.අගිල්

13.දේවදාර

14.දෙහි

15.විෂ්ණු ක්‍රාන්ති

16.බෙලි

17.බැබිල

18.පොල් තෙල්

19.පස් තෙල් (තල තෙල්, මී තෙල්. අබ තෙල්, කොහොඹ තෙල්, එඩෙරු තෙල්

පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ඒ.ඇම්.පී.කේ. අබේසුන්දර සහ ආරියරත්න බඹරගම මහතා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරෙනි.

ශ්‍යාමා සමරසිංහ

ඡායාරූප - නිශ්ශංක විජේරත්න

හිස තෙල් ගෑම