සිංහල අවුරුද්ද, අලුත් අවුරුද්ද, සිංහල හා හින්දු අලුත් අවුරුද්ද බක් මහා මඟුල, සූර්ය මංගල්‍යය යන නම් වලින් හඳුන්වන්නේ ලංකාවේ ප්‍රමුඛතම සංස්කෘතික උත්සවය යි. ලොව විවිධ රටවල සූර්යයාගේ නිවර්තනාන්තර ගමන අළලා මෙබදු සංස්කෘතික උත්සව නිර්මාණය කරගෙන තිබෙයි.

කෘෂි අර්ථ ක්‍රමයක් හා බෞද්ධ උරුමයක් පවතින ශ්‍රී ලංකාවේ මේ සංස්කෘතික උත්සවය සිදු කෙරෙනුයේ ඊට මුල් තැන දෙමිනි. වර්ෂය පුරාම දහඩිය වගුරා වෙහෙස මහන්සි වී අස්වැන්න නෙළා ගත් පසු ද ඇත්තේ පී‍්‍රතිය යි.

පී‍්‍රතිය, සතුට සැමරීමත්, කෙළි දෙළෙන් ගත කිරීමත් මේ සංස්කෘතික උත්සවය හා බද්ධව පවතී. ඊට කෘෂිකර්මාන්තය වටා බැඳුණු ජීවන රටාවේ අංගයන්ට මුල් තැන දෙමින් චාරිත්‍ර - වාරිත්‍ර ඉටු කිරීම පිළිබඳ අනාදිමත් ඉතිහාසයක් පවතී.

හත්වන සියවසේ දී පමණ සීගිරිය බලන්නට ගොස් එහි සිතුවම් නරඹා අසල වූ කැටපත් පවුරෙහි ගීයක් කුරුටු ගෑ කවියෙකු ද බක් මහේ නව සඳ ගැන සඳහන් කළේ ‘නව බග් ල සන්ද්’ යනුවෙනි. තමා බක් මහේ නව සඳ දුටු මිනිසෙකැයි ඔහු ආඩම්බරයෙන් පැවසූ බව ද සඳහන් වේ. නව සඳ බැලීමේ චාරිත්‍රය එකල පටන් පැවැති බව ඉන් අර්ථවත් වේ.

ඉරු දෙවියන් මෙන්ම සඳ දෙවියෝත් ලෝකය ආලෝකමත් කරති. අවුරුදු කාලයට සිංහල බෞද්ධයෝ දෙවරක් සඳ බලති. එක් වරක් පරණ අවුරුද්දට ය. අනෙක් වර අලුත් අවුරුද්දට ය.

අලුත් අවුරුද්දේ පායන්නේ නව සඳ යි. අලුත් අවුරුද්දට නව සඳ බැලීමෙන් ද සිත ශක්තිමත් කෙරේ. නව සඳ දවසින් දවස මෝරා පුර සඳක් බවට පත් වන්නාක් මෙන් උදා වුණු අලුත් අවුරුද්ද ද වාසනාවෙන් පිරේවායි සිංහලයෝ ප්‍රාර්ථනා කරති. නව සඳ බලමින් හකුරු වැනි පැණි රස කැවිල්ලක් කෑම දකුණු පළාතේ සිරිතකි.

හිරු දෙවියන් මීන රාශියට ආ විට එක් අවුරුද්දක් ගෙවී යයි. ගෙවී යන ඒ අවුරුද්දේ අන්තිම දවස පරණ අවුරුද්දයි. ඉරු දෙවියන් මේෂ රාශියට සම්පුර්ණයෙන් ම ඇතුළු වූ විට තවත් අවුරුද්දක් ආරම්භ වේ. ඒ අලුත් අවුරුද්ද යි. මීන රාශියෙන් පිටත් වූ ඉරු දෙවියන්ට සම්පුර්ණයෙන්ම මේෂ රාශියට ඇතුළු වීමට පැය කිහිපයක් ගත වේ.

මේ කාල සීමාවෙහි හිරු දෙවියන් සිටින්නේ මීන රාශියත් මේෂ රාශියත් අතර ය. එක් තැනකින් තව තැනකට යෑම සංක්‍රාන්තියකි. මෙය සූර්ය සංක්‍රාන්තිය යි. සූර්ය සංක්‍රාන්තිය සිදු වන ඒ පැය කිහිපය පරණ අවුරුද්දටත් නැති, අලුත් අවුරුද්දටත් නැති කාල පරිච්ඡේදයක් සේ සැලකේ. එහාටත් නැති මෙහාටත් නැති හෙයින් දෙකටම නැති මේ කාලයෙහි සුබ නැකැත් ද නැත.

සුබ නැකතක් නැති බැවින් මේ කාලය නොනගතය වශයෙන් හැඳින්වෙයි. නොනගතය අවදානම් සහිත හෙවත් අනතුරුදායක කාල පරිච්ඡේදයක් සේ පැරැන්නෝ ඇදවූූහ. එබැවින් මේ කාලය තුළ දී අපට ආරක්ෂාව අවශ්‍ය වේ. සිංහල බෞද්ධයාට ඒ ආරක්ෂාව ලැබෙන්නේ පන්සලෙනි. එබැවින් නොනගතයෙහි දී සෑම බෞද්ධයෙක් ම පන්සල් යයි. එය පුන්‍ය කාලය වශයෙන් චාරිත්‍ර - වාරිත්‍රවලට එකතුව ඇත.

අලුත් අවුරුද්දට ගේ දොර අලුත් වේ. මුලින් ම ශුද්ධ පවිත්‍ර වන්නේ මහ ගෙදර කුස්සිය යි. කැඩී බිඳී ගිය ළිප්ගල් අලුතින් බැඳේ. කුස්සිය අලුත් අවුරුද්දට අලුත් මුහුණවරක් ලබයි.

අලුත් අවුරුද්ද උදා වන විට අලුත් ළිප් බැඳ අලුතින් ළිප් ගිනි මොළවා, අලුත් සහලින්, අලුත් වළඳකින්, අලුත් බතක් පිසීමට සියල්ල සුදානම් කෙරේ. හිරු දෙවියන් සම්පුර්ණයෙන්ම මේෂ රාශියට ඇතුළු වනවාත් සමඟ ම අලුත් අවුරුද්ද උදාවීම සංකේතවත් කරමින් සෑම ගෙදරක ම පාහේ ළිප ගිනි මෙළෙවීමේ චාරිත්‍රය සිදු කෙරේ. මේ මොහොත ගෙදරට අලුතින් ම ගින්දර ගෙනෙන මොහොතයි.

එළැඹි සුබ නැකතට ළිප ගිනි මොළවා අලුත් හැළියක කිරි ඉතිරිමේ චාරිත්‍රය සිදු කෙරේ. අනතුරුව කිරි මිශ්‍ර අලුත් බතක් පිසීම සිදු කරති. සුබ නැකත එළඹ ඇති බව කියන්නට නන් දෙසින් රතිඤ්ඤා පත්තු කෙරේ.

රටේ සියලුම දෙනා එකම වෙලාවක එකම කාර්යයක නිරත වීමේ චාරිත්‍රය අපේ හෙළ සංස්කෘතියේ ප්‍රතිමුර්තිය ද වෙයි. මෙවැනි චාරිත්‍ර අන් කිසිදු රටක දක්නට නැත. මෙවන් සිරිත් විරිත් යහපත් සමාජයක් ගොඩ නැගීම සඳහාත් නූතන සමාජය ඉදිරියට ගෙනයාම සඳහාත් මහඟු පිටුවහලක් වෙයි.

කිරි බත අපේ සහල් සංස්කෘතියේ චාරිත්‍රයකි. කිරි බත් පිසීම අපේ සංස්කෘතියේ සශ්‍රීකත්වයේ ලක්ෂණයකි. කිරි බත පිස එයට තල වර්ග, ගිතෙල් හකුරු ආදිය දමා සකස් කර නැකතේ දී පිසීමේ කටයුත්ත අවසන් කරයි.

වැඩ ඇල්ලීම චාරිත්‍රයේ දී ගොවි ගෙදරක සිදුකෙරෙන මුලික කර්තව්‍යයකි. එහිදී කරනුයේ කිරි අත්තකට කෙටීම ය. පියා විසින් කැත්තෙන්, උදැල්ලෙන්, පොරොවෙන් කොටා වැඩ ඇරැඹීම කෘෂි කාර්මික සමාජයක් සංකේතවත් කෙරේ. ගැමි දරුවෝ ද මවුපියන් අනුකරණය කරති. ඇතැම් දරුවෝ පොත පතේ ඉගෙනුම් කටයුතුවල නියැලෙති.

ගනුදෙනු කිරීමේ චාරිත්‍රයේදී ගැමි කාන්තාව කැපී පෙනේ. ළිඳ සමඟ සිදු කෙරෙන ගනුදෙනුවට අඟුªරු කෑල්ලක්. තඹ කාසියක් වැනි ද්‍රව්‍ය අඩංගු පොදියක් ළිඳට දමා පළමු වතුර බාල්දිය ඇද ගනී, මේ ගැමි සිරිත හඳුන්වන්නේ ‘ළිඳ අලෙයි කරනවා’ යනුවෙනි. අඟුරු, ජලය පිරිසුදු කරන ගුණයෙන් යුක්ත ය. අවුරුද්දක් මුළුල්ලෙහි වතුරෙහි දිය වන තඹ කාසිය මිනිස් සිරුරට අවශ්‍ය තඹ ලබා දෙයි. වතුර සශ්‍රීකත්වය ගෙන දෙන්නකි.

දරුවෝ මාපිය, වැඩිහිටියන්ට බුලත් දී දණ ගසා වඳිති. තෑගි බෝග ද දෙති. තමා අතින් නොදැනුවත්ව හෝ වරදක් වී නම් සමාවභජනය වන මෙන් අයැද සිටිති. මේ බුලත් අත රැගෙන දරු මුනුපුරන්ගේ හිස අත ගාන වැඩිහිටියන්ගේ දෑස් සතුටු, කඳුළින් බර වේ.

අසල්වැසියන් සමඟ බෙදා හදාගෙන කෑම සිංහල සිරිත යි. උදා වුණු අවුරුද්ද වාසනාවෙන් පිරී ඉතිරේවායි පතන්නට මෙන් අහල පහළ ගෙවල්වලට ද අවුරුදු කැවිලි පෙවිලි බඳුන් යැවේ.

සුබ නැකතට ආහාර අනුභව කරන විට සුබ දිසාවක් දෙස බැලීම වැදගත් කොට සැලකේ. සුබ දිසාව මෙන්ම සුබ වර්ණයක් ද නැකැත්කරුවෝ නියම කරති. ආහාර අනුභවයේදී එම වර්ණ ඇඳුම් ඇඳ සිටීම දක්නට ලැබේ.

අලුත් අවුරුද්දේ සුවිශේෂී චාරිත්‍රයකි හිස තෙල් ගෑම, බෙහෙත් පැළෑටිවලින් පිළියෙල කරන තෙලක් වැඩිහිටියෙකු විසින් සුබ දිසාව බලා හිස ගානු ලැබේ. මෙයට හිසටත් පයටත් ඖෂධ නියම කෙරේ.

ඒවා වසරින් වසර වෙනස් වේ. ගමේ ප්‍රධානියා. පන්සලේ භික්ෂූන්වහන්සේ හෝ නිවෙසක ගෘහපතියා විසින් මේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය ඉටු කරයි. හිසතෙල් ගෑමේ චාරිත්‍රයට රාජ්‍ය අනුග්‍රහය ද ලැබේ.

අතීතයේ ද රජු ප්‍රමුඛ කොට ගත් අමාත්‍ය මණ්ඩලයට ද හස්තීන්ට ද හිස තෙල් ගෑමේ කටුත්ත කළ බව කියැවේ. අදටත් රාජ්‍ය අනුග්‍රහය මේ චාරිත්‍රයට ලැබේ.

ඉන් පසුව ස්නානය කිරීම සිදු වේ. සිතේ හැටියට නා පිරිසුදු වූ කල කය මෙන්ම සිත ද පිරිසුදු වේ. සිත කය පිරිසිදු කොට ගෙන ලැබුවා වූ අලුත් අවුරුදු ගමන යහපත් අයුරින් සිදු කිරීමට බොහෝ දෙනා ඉත සිතින් ප්‍රාර්ථනා කරති.

යථෝක්ත සිරිත් විරිත් අපේ‍්‍රල් මස 12,13,14 හා 15 වැනි දියන්හි සිදු කිරීමෙන් අනතුරුව සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හෙවත් සුර්ය මංගල්‍යය නිමාව ට පත් වේ.

අවුරුදු නිමාවෙන් පසු සුපුරුදු පරිදි නැවතත් රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම නැකතට අනුව සිදුකෙරේ.

මෙවර 2017 වර්ෂයේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමාව දුටු කල්හි රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම සිදු කෙරෙන්නේ අපේ‍්‍රල් මස 17 වැනි දින ය.

එහිදී සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරැසී කිරි මිශ්‍ර කිරිබත හා කැවිලි අනුභව කොට පුර්ව භාව 06.28ට උතුරු දිශාව බලා රැකි රක්ෂා සඳහා පිටත්ව යෑම සුබ බව නැකැත් ශ්‍රාස්ත්‍රයේ සඳහන් වෙයි.

මේ පරිද්දෙන් ගෙවුණු සෑම වර්ෂයක දී ම සුබ දිශාවක්, සුබ නැකතක්, වර්ණයක්, වේලාවක් යනාදී කරුණු සම්පුර්ණ කොට එකම දිනෙකදී රැකිරක්ෂා සඳහා සියලු ශ්‍රී ලාංකීකයෝ යොමු කරවා අවුරුදු සමය නිමාව දකී.

 

 

(මහාචාර්ය ජේ.බී.දිසනායක මහතාගේ සූර්ය මංගල්‍යය සහ තවත් මූලාශ්‍ර ද ඇසුරිනි)

ශ්‍යාමා සමරසිංහ

ඡායාරූප - නිශ්ශංක විජේරත්න

අලුත් අවුරුදු සිරිත් විරිත්