කලට වැසි ඵල ලැබී, සොබා දහමේ ආශිර්වාදයෙන් පාට වැටෙන ගහ කොළ, නේක සියොතුන්ගේ ගීත මිහිරෙන් අවදිවෙන පරිසරය, නැවුම් හැඟුමින් සිත් ප්‍රබෝධමත් කරනවා. වසත් කාලයක ඇරැඹුම එසේ සනිටුහන් වන අතරේ නව අවුරුදු උදාව, සිංහල අලුත් අවුුරුද්ද පිළිගන්නට ලොකු කුඩා කවුරුත් සුදානම් වෙනවා. අස්වනු නෙළා, අටු කොටු පුරවා ගැනීමෙන් ලද සතුට සමඟින් සමරන සිංහල අලුත් අවුරුද්ද අතීතයේ සිටම වඩාත් අර්ථවත් වුයේ අවුරුදු උදාවේ සිටම ආගමික වත් පිළිවෙත් වලට මුල් තැන දීම නිස යි. භෞතිකත්වයේ ද අධ්‍යාත්මික ගුණ වගාවේද සංකලනයෙන් විචිත්‍රවත් වීම නිස යි. මවුපිය උපස්ථානය, සහෝදර සහෝදරියන්ට සැලකීම, නැදෑ හිත මිතුරන්ට සංග්‍රහ කිරීම, එකමුතුකම සංකේතවත් කරමින්, අන්‍යෝන්‍ය සුහද බවින් කෙළි සෙල්ලම් වල යෙදෙමින් සතුට විනෝදය ලැබීම ආදී උසස් ගුණංග එහිදී ප්‍රමුඛ වෙනවා.

පරණ අවුරුද්ද සඳහා ස්නානය, නව අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ආහාර අනුභවය, ගනුදෙනු කිරීම, රැකී රක්ෂා සඳහා පිටත් වීම ආදී සෑම අලුත් අවුරුදු චාරිත්‍රාංගයකින්ම බලාපොරොත්තු වන්නේ ජීවිතයට නැවුම් බලාපොරොත්තු, හැඟුමන්, ප්‍රාර්ථනාවන් එක් කර ගැනීම යි. අලුතින් ජීවිතය පටන් ගැනීමයි. එහෙත් ගේ දොර අලුත් කළ පමණින්, කිරි බතක් පිසීමෙන්, අවුරුදු කෑම මේසය සුදානම් කළ පමණින්, ඥාාතීන්ට සංග්‍රහ කළ පමණින් ජීවිතය අලුතින් පටන් ගත්තා වන්නේ නැත. ඒ සඳහා අධිෂ්ඨානයක් ඇවැසි යි. ‘ගෙවුණු වසරේ මගේ බලාපොරොත්තු ඉටු වුණා ද? ‘ ‘අඩුපාඩු දුර්වලතා මොනවා ද?’ ‘මඟ හැරුණේ මොනවා ද?’ ‘හිත් අමනාපකම්, තැවුල්, වේදනාබර කල්පනාවන් උදා වූ වසරේත් ඉදිරියට ගෙනයනවා ද?’යි සිතමින් ගෙවුණු වසර දෙස ආපසු හැරී බලා ඉදිරිය සැලසුම් කරන්නට ඕනෑ. අධිෂ්ඨානශීලී වන්නට ඕනෑ.

දවස උදවෙනවා. හිතනවාටත් වඩා වේගයෙන් ගෙවෙනවා. ජීවිතයක් ඒ වගෙයි. වේගයෙන් ගෙවෙනවා. ඒ නිසා සෑම තත්ත්පරයක්ම වැදගත්. උදාවන නව අවුරුදු දා රැයේ නින්දට පෙර අඩ හෝරාවක් සිතන්න. ගෙවුණු ජිවිතයේ කොපමණ කාලයක් නිකරුණේ ගෙවුණා ද? අනුන් ගැන සිතන්න, අනුන් ගැන කියන්න, අනවශ්‍ය ගමනට බිමනට මොනතරම් කාලය වෙන් කරන්නට ඇති ද? මොනතරම් යුතුකම් වගකීම් මඟ හැරෙන්නට ඇති ද? කී දෙනෙකුගේ හිත් රිදවන්නට ඇති ද? ඉදිරියට නොව පියවර කොපමණ ප්‍රමාණයක් ආපස්සට යන්නට ඇති ද? අතීතය ආවර්ජනය කරන ඔබට සිත් වේදනා ඇතිවෙන්නට පුළුවන්. අතීතය සිහි කරන්නට ඕනෑ වැළපෙන්නට නොවේ. තැවෙන්නට ද නොවේ. අතීතයෙන් පාඩම් උගෙන අනාගතය නිවැරැදි කර ගන්නට යි.

අලුත් අවුරුද්දේ අලුතින් සිතන්න. තෙරුවන් ගුණ සිහිපත් කරමින් ආගමානුකූල ජිවිතකයට ඇරැඹුම දෙන්න. ඔබේ නිවැසියන් සමඟ සතුටින් ජීවත් වෙන්නට උත්සාහ කරන්න. ප්‍රියවදන් පවසන්න. පි‍්‍රය දැක්මෙන් යුතු වන්න. පවුලේ සතුට සිනහව උතුරනු නිසැකයි.

නව වසර පිරිසුදු සිතින් පිළිගන්න. තරහව, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව සිත අඳුරු කරනවා. මෛත්‍රීයෙන්, දයාවෙන්, කරුණාවෙන් ඒ අඳුරු අපිරිසුදු සිතිවිලි සෝදා හරින්න. සතුරන්ටත් මෙත් වඩන්න. අලුත් අවුරුද්ද සමඟ ජිවිතයත් අලුත් වෙනවා. දිනකට විනාඩි 10ක්වත් මෙත් වඩන්නට වෙන් කරන්න. අපූර්ව වෙනසක් ඇතිවෙනවා.

බුදු දහමින් පෝෂණය වූ සංස්කෘතික දායාදායන් අපට තිබෙනවා. සදාචාරත්මක පැවතුම් තිබෙනවා. පන්සිල් සුරැකීමෙන් සදාචාරය සුරැකෙනවා. තමන් තමන්ට පහනක් වෙන්නට ඕනෑ. අඳුරෙන් එළියට, ආලෝකයෙන් ආලෝකයට යන්නට ඕනෑ. අඳුරෙන් අඳුරට යාමෙන් තමන් නින්දාවට පත්වෙනවා. ඒ වගේම මවුපියන්ට, ඥාතීන්ට, ගුරුවරුන්ට, ගමට රටට අවනම්බුවක් වන දේ නොකළ යුතුයි. තමන් වරදක් කළොත් එහි නින්දාව මවුපියන්ටත් ලැබෙනවා. දරුවන්ටත් ලැබෙනවා. බුදු දහමේ මේ කරුණු අත්ථාධිපත්‍යෙය, ලෝකාධිපත්‍යෙය, ධම්මාධ්පත්‍යෙය ලෙස විස්තර කෙරෙනවා.

උදාවන නව වසරේ ඔබ සැප හතරකින් සන්නද්ධව අධිෂ්ඨානයක් ඇතිකර ගන්නට ඕනෑ. වසර පුරාම ඔබට සුව ගෙන දෙනවා. අඩුපාඩු නැතිව ජීවත් වෙන්නට ධනය, සම්පත් ඕනෑ. අධාර්මික ධනය නොවේ. දහදිය මහන්සියෙන් අවංකව උපයාගත් ධනය යි. ඒ අත්ථි සුඛය යි. උපයාගත් ධනය මසුරුකමින් ගොඩනොගසා ගත යුතුයි. පරාර්ථකාමීව පරිභෝජනය කළ යුතුයි. ඒ භෝග සුඛය යි. අවුරුද්දකට වතාවක් උදාවෙන අවුරුදු ජයට සමරන්න සමහර පිරිස් ණය වෙනවා. උපයනවාටත් වඩා ණය ගන්නවා. අණන සුඛය නැතිවෙනවා. මහා දුක් කන්දරාවකින් අවුරුද්ද ගෙවෙනවා.

සැප විඳිමින් කෙනෙකු තමන්ගේ ජිවිතය දෙස බලා සතුටු වෙනවා. ‘මම වැරැදි කරලා නෑ’ ‘මගේ ජීවිතය ලස්සනයි’ ආදී ලෙසින් සිතනවා. ඒ ‘අනවජ්ජ සුඛය යි.’ මේ සැප ළඟා කරගත් ජිවිතය සුවදායකයි. ආතිතයෙන්, අසහනයෙන් තොරයි.

ජීවිතයේ සාර්ථකත්වයට මහෝපකාරී වන කරුණු හතරක් පිළිබඳව උට්ඨාන සම්පදා, ආරක්ඛ සම්පදා, කල්‍යාණ මිත්ථතා, සමජීවිකතා ලෙස බුදු දහමේ ඉගැන්වෙනවා. මේ සිව් කරුණු වලින් සන්නද්ධ වන්නට අවුරුදු උදාව ආරම්භයක් කර ගත හැකි නම් ජීවිතය වඩාත් සාර්ථක කරගත හැකි වෙනවා. “උට්ඨාන සම්පදා” නම් උත්සාහය යි. අනලස් බව යි. ඉගෙනුමට අලස වුණොත් විභාග අසමත් වෙනවා. ව්‍යාපාරයෙහි රැකියාවෙහි අලස වුණොත් ධන සම්පත් පිරිහෙනවා. ජිවීතයේ ඕනෑම කාර්යයකට උත්සාහය ඇවැසියි. උඳු වපුරා මුං බලාපොරොත්තු වන්නට බැරි බව ජන වහරේ කියැවෙනවා. දැන් මහන්සියි, කුස ගිනි අධිකයි, රෑ බෝ වෙලා, පාන්දර වැඩියි ආදී ලෙස සිතමින් තත්ත්පරයෙන් තත්පරය, විනාඩියෙන් විනාඩිය, පැයෙන් පැය, දිනෙන් දින කල් හරිනවා නම් කාලය මඟ හැරෙනවා. ජිවිතය මඟ හැරෙනවා.

මහන්සියෙන් උපයා ගත් ධනය ගින්නෙන්, සොර සතුරන්ගෙන් ආදී ලෙස ආරක්ෂා කරගන්නවා සේම අරපිරිමැස්මෙන් පරිහරණය කරන්නට ද වග බලා ගත යුතුයි. කොපමණ ඉපයුවත් අනවශ්‍ය වියදම් කරනවා නම් ධනය විනාශ වෙනවා. ඒ පුද්ගලයාට දියුණුවක් නෑ.

‘කල්‍යාණ මිත්ථතා’ නම් යහපත් මිතුරු ඇසුර යි. නරක පුරුදු කරන්නේ, නරකට අනුබල දෙන්නේ, වරදින් මුදවා නොගන්නේ අයහපත් මිතුරා යි. හොඳ මිත්‍රත්වය ජිවිතය ආලෝකමත් කරනවා. අයහපතින් මුදවනවා. සුබ සිද්ධියම බලාපොරොත්තු වෙනවා. සිඟාලෝවාද සුත්‍රයෙහි යහපත්, අයහපත් මිතුරු ඇසුර ගැන අපුර්ව විග්‍රහයක් ඉදිරිපත් කර තිබෙනවා.

‘සම ජිවිකතා’ නම් සමව දිවි පැවැත්ම යි. අය වැය සමව පවත්වා ගැනීම යි. එවිට ජිවිතයද සමබර යි. සුව බර යි.

ජීවිතයේ ප්‍රශ්න එනවා. එහෙත්, පිළිතුරු තිබෙනවා. විටෙක පැරදෙනවා. ආයෙත් දිනනවා. පසුගිය අවුරුද්ද පුරාම මගේ ගෙදර ප්‍රශ්න ඇති වුණා. මම ආදරය කළ කෙනා නැති වුණා. විභාග අසමත් වුණා. රැකියාවේ ප්‍රශ්න ආවා. තනතුරු නැති වුණා. චෝදනා ලැබුණා. නව අවුරුදු උදාවෙත් ගෙවුණු අතීතය ගැන කල්පනා කරමින් කඳුළු සළන්නට කාලය වෙන් කළේ නම් ඒ කඳුළ හෙටටත් ඉතිරි වෙනවා.

කැමති වුව ද අකැමැති වුව ද අටලෝ දහමට මුහුණ දිය යුතුමයි. ඒ සොබා දහමේ නියමය යි. ලාබ ලැබෙනවා. අලාබ වෙනවා. යසස වැඩෙනවා. අයස ලැබෙනවා. නින්දා පසුපසම ප්‍රශංසා ලැබෙනවා. සැප වගේම දුක හිම් වෙනවා. අභියෝග එනවා. ප්‍රශ්න එනවා. ඒ සියලු අභියෝගයන්ට ශක්තිමත් සිතින් මුහුණ නොදුන්නේ නම් ජීවිතය පරදිනවා. ජිවිතයට නිර්භයව මුහුණ දෙන්නට ඕනෑ. දුකත්, සතුටත් උපේ්ක්ෂාවෙන් විඳ ගන්නට ඕනෑ. ධර්මානුකූල පැවැත්ම ඒ සඳහා මා හැඟි ඔසුවක්. ආගමනුකූලව, අධ්‍යාත්මික දියුණුව ඇති කර ගනිමින් නව අවුරුද්ද ගත කරන්නට ස්ථිර අදිටනක් ඇති කර ගන්නට උත්සාහ කරන්න. ඒ වීර්යයම ඔබේ දියුණුවට හේතු වෙනවා.

රමණී සුබසිංහ

ඡායාරූප - නිශ්ශංක විජේරත්න

පී‍්‍රතිමත් අවුරුද්දකට බුදු දහමින් ඔවදන්