අලුත් අවුරුදු උදාවන්නේ වසරකට වරකි. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට නෑගම් යන්නේ දින 365 දිනක් ගතකොට හමාර වූ තැන ය. නැතහොත් පෘථුවිය හිරුවටා එක වටයක් ගමන් අරඹා අවසන් කොට යළිත් අලුත් ගමන් වටයක් අරඹන්නේ මීන රාශියේ සිට මේෂ රාශියට පැමිණීමත් සමඟ ය. දින 365කට වරක් එළැඹෙන මේ රාශිමාරුව, හිරුගේ රශ්මියෙන් ලැබෙන ඇල්ම බැල්ම නිසා වන සශ්‍රීකත්වය සංකේතවත් කොට හිරු දෙවියන් උදෙසා කරන පූජෝපහාරයක් බඳු ය. වචනයේ පරිසමාප්තයෙන් ම අවුරුදු උදාව යනු සූර්යය මංගල්‍යයකි. ඒ නිසා ම බක් මාසය යනු සශි‍්‍රකත්වය උදාකරන මාසය යි. හේනේ කේතේ අස්වැන්න අටුකොටු පුරවා නෙලාගන්නට හැකි වුයේ සූර්යයා දුන් ශක්තිය නිසා යි. එයට කෘතගුණ සැලකීම යනු අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර පැවැත්වී ම ය.

අස්වැන්න නෙළා වී බිස්ස පුරවා අටුකොටුවල අඩුක්කරගත් පසු ගැමියා මඳක් විවේකීව සිටින්නේ මේ අවුරුදු කාලයේ ය. අක්වැහි වහින්නේ ද බක්මහට ය. බක්මහට අකුණු පුපුරන්නේ ද එලෙස ය. බක්මහේ සශ්‍රීකත්වය පදනම් කොට ගෙන, ගැමි ළඳුන් සිය මංගල ගමනට යන්නට බක් මාසය තුළ නැකැත් යොදා ගනු දැකිය හැකිය.

බක්මහට ගම්මැද්ද ‘මල්වර’ වෙනවා යයි කියමනක් ද තිබේ. එහි අරුත නම් නගරය වාගේම ගම්මානය ද සැණකෙළි සිරියෙන් ඔප් නැංවෙනවා සේම පරිසරය ද කළ එළිවෙන සැටියකි. එලෙසම අවුරුද්ද යනු වසන්ත සැණකෙළියයි. වසන්ත සැණකෙළියේ මුල් පියවර තබන්නේ තුරුමුදුන් පුරා පිපී ගිය නවමු පුෂ්ප ගුලාවන් ය. පරිසරය සුවඳවත් කරමින් මී මැස්සන් මුසපත් කරමින් රොන්සුණු විහිදා විකසිතවන මල්ගොමු බක්මහේ අසිරියට ආසිරි පතන්නේ තුරුමුදුන් එළිපෙහෙලි කරන ගමන් ය. බක්මහේ සැබෑම සංකේතය වූ කුරවිකෙවිල්ලන්ගේ මියුරුසර අවුරුද්දේ ශි‍්‍රයාව ගෙනැවිත් හමාර ය. අවිච්චියා, සුදුරෙදි හොරා, සිවුරු හොරා වැනි කුරුල්ලන්ගේ දසුන ගෙවතු, වනලන්ද පුරා අපට දකින්නට ලැබෙන්නේ නිතැනින්ම ය. වන්තරේ වන ළඳුවල මී වදවල පැණි පිරෙන්නේ ද බක් මහට පුදන්නට ය. නවම්මහේ දී පත්‍ර හලා දැමු ගහකොළ මේ වන විට නව දළු දමා පුෂ්පයන් බිහිකර ඇත. බඩවැටි පුරා ගෙඋයන් පුරා , රතට රතේ පාවාඩ එළූ එරබදු මල් කුමරියෝ ගම් දනව්වට ආවේ අවුරුදු පණිවුඩය දෝතින් දරාගෙන ය. නාඹර කජු ගස් මුදුනේ රතු කහ පැහැයෙන් විලිකුන් කජු පුහුලන් අපට කීවේ අලුත් අවුරුද්දේ නොකියාම බැරි කතාවකි. කවුරුත් මඟ බැලුවේ ඇය එනතුරු ය. ඉදුණු කජු පුහුලන් නෙත ගැටෙන විටම කාගේත් සිත්වලට කොඳුරා කියන්නේ නිතැතින්ම අලුත් අවුරුද්ද ළඟ ළඟම උදාවන බව යි.

සූර්ය දිව්‍යරාජයා ඇතුළු සොබා දහමට අතීතයේ සිට ම මිනිසුන් වැඳුම් පිදුම් කළේ ය. පෘථුවිය මත ජීවය රඳපවතින්නේත්, ඒ තුළින් මිනිසා ජීවිතය ලබන්නේත් හිරුගේ ප්‍රභාවය නිසා ය. හිරු දෙවියෝත්, සඳ දෙවියෝත්, වැස්ස වලාහක දෙවියෝත් යනුවෙන් ඒවාට දේවත්වය ආරෝපණය කළේ දෙවියන් සේ සලකා ය.

බක්මහේ දී හිරු දෙවියෝත්, සඳ දෙවියෝත් මෙන්ම පත්තිනි දේවියෝ ද සිංහල බෞද්ධයාගේ වන්දනාමානයට පාත්‍ර වුයේ අද ඊයේ නොවේ. මේ වන්දනාමානය වෙනුවෙන් ඔවුහු පද්‍ය ගායනා කළහ.

මේ කාගේදෝ කමතා

ඉරු දෙවියන්ගේ කම තා

මේ කාගේ මේ කම තා

සඳ දෙවියන්ගේ කම තා

ඉරු දෙවියන් වැඩිය තැනේ

බොල් පිනි නොතිබෙයි එතැනේ

සඳ දෙවියන් වැඩිය තැනේ

කළුවර නොතිබෙයි එතැනේ

 

“එරබඳු මල් පොට්ටු පොට්ටු අවුරුද්දත් කිට්ටු - කිට්ටු”

සුබ නැකත එළැඹ ඇතිබව කියන්නට ගම්දොරක් ගානේ රතිඤ්ඤා හඬ පැතිරේ.

එකම දේශයක එකම වේලාවක මුළු මහත් ජාතියක් ළිපගිනි මොළවා කිරිබතක් පිසින්නේ ද, එකම වේලාවක ඒවා අනුභව කරන්නේ ද සිංහල අවුරුද්දේ දී ය.

බැලූ බැලූ අත කැවුම් කොකිස් බැදෙන සුවඳ ය. අලුත් ඇඳුම් පැළඳුම් කඩ සාප්පුවල පිරී ඉතිරී ඇත. කාට කාටත් අලුත් ඇඳුමක් ලැබෙන්නේ මෙදාට ය. කෝන්ඳුරුවන් වෙනුවෙන් කැවුමක් වහළයේ එල්ලීමට අපි අමතක නොකරමු. අවුරුදු කාලය ළං වන විට කෝඳුරු රංචු වහලයේ වැල් බැදගෙන සිටින්නේ තෙලේ බැදෙන කැවුම් සුවඳට ය. නිවෙසට නැවුම් මැටි බඳුන් කළ එළි බැස තිබේ.

මේ සියලු විපර්යාසයන් සිදුවන්නේ ළඟ එන අවුරුද්ද සාදරයෙන් පිළිගන්නට ය. හිරුගේ සංක්‍රාන්තිය මෙහිදී සැබෑ වෙනසක් ඉටුකරයි. සියල්ල සිදුවන්නේ හිරු වටා ය. බක්මහ වන විට හිරු සමකයට වඩාත් ආසන්නව ගමන් කරයි. එ නිසා බක්මහේ හිරු රශ්මිය දැඩි ය. මේ දැඩි රශ්මිය නිසා ගහකොළ තුළ සොබාදහම් වෙනස්කම් ඇති වේ. ගහකොළ මල් ගෙඩි පිරී සුවඳ හමන්නේ ඒ නිසා ය.

කොහා වැනි පක්ෂිහු සිය ආදරවන්තයින් හා පේ‍්‍රමයෙන් බැඳී යන්නේ මේ සමයේ ය. උන්ගේ මිහිරි නාදයන් පරිසරය පුරා පිළිරැව් දෙන්නේ බක්මාසේ මංගල්‍යයට සැදී පැහැදී ගෙන ය.

සියලු සිරිත් විරිත් ඉටුකරමින් බක්මහේ සිංහල අලුත් අවුරුද්ද ඈතට කෙමෙන් පා ඔසවද්දී නව සඳ උදාවන්නේ කාගේත් අලුත් සිතිවිලිවලට නැවුම් දසුනක් ළංකරවා තබමිනි. නව සඳ උදාවන්නේ අලුත් අවුරුද්දේ අලුත් මිහිරක් ලබා දෙන්නට ය. සිංහල අලුත් අවුරුද්දේ පී‍්‍රතිය බුක්ති විඳින්නට සොබා දහම මෙලෙස අනුබල දෙන්නේ මානව වර්ගයාගේ පැවැත්ම උදෙසාම ය.

 

නන්දි අලුත්ගේ රත්නවීර

ඡායාරූප - නිශ්ශංක විජේරත්න

අවුරුද්දට සූදානම්වන සොබාදහම