සබරගමු පළාතේ පින්නවල ප්‍රදේශය හරහා මා ඔය සුපුරුදු පරිද්දෙන් ගලා බසින්නී ය. මා ඔය මවන හැඩතල සේම ඈ දැකබලා ගන්නා අවට සිරිය අතරට පින්නවලදී අපූරු ස්ථානයක් ද හසු වෙයි. ඒ අන් කිසිදු තැනක් නොව ‘ඉපැරැණි ගම’ යි. ඉපැරැණි ගැමි ජීවිතයේ අංගයන් ඇතුළත් කොට මේ ගම ඉඳිකොට තිබෙයි. වෙද ගෙදර , කුඹල් ගෙදර, අත් යන්ත්‍ර , රෙදි පිළි ගෘහය, කම්මල. වඩු මඩුව, කෝපි කඩේ, පන්සල, වැව, හේන, දඬු වැට, ගස මත බැඳි පැල, කෙත් යාය, දිය හොල්මන, කමත, වී බිස්ස, අහිකුණ්ඨික කූඩාරම, එළිමහන් රඟහල ඒ අතර වෙයි.

‘ඉපැරැණි ගම ‘ නිර්මාණය පිළිබඳ එහි කළමණාකාර තැන්පත් අනුර දසනායක මහතා පවසා සිටියේ මෙවැන්නකි.

“ඉපැරැණි ගම නිර්මාණය කළේ සබරගමු පළාත් මහ අමාත්‍යතුමාගේ දායකත්වයෙන් කෑගල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී කණක හේරත් මැතිතුමාගේ සංකල්පයකට අනුවයි. ඉපැරැණි ගමට ප්‍රතිපාදන ලැබෙන්නේ සබරගමු පළාත් සභාවෙන්. මේක වෙනම ප්‍රඥාප්තියකින් පාලනය වන ආයතනයක්. පාලනය වන්නේ භාරකාර මණ්ඩලයකින්. මහ ඇමැති, ප්‍රධාන ලේකම් සහ පළාත් සභාවේ සෑම අමාත්‍යංශයකම ලේකම්වරු ඉන්නවා. ඒ අය ගන්න තීරණ අපි ක්‍රියාත්මක කරනවා. ඒ අනුව තමයි ඉපැරැණි ගම පත්වාගෙන යන්නේ.”

ඉපැරැණි ගම නිර්මාණයේ මුඛ්‍යතම අරමුණ වන්නේ සබරගමු පළාතේ අතීත ජන උරුමයන් ඉදිරි පරම්පරාවට පෙන්වීමයි. ඒ වගේම ඉදිරි පරම්පරාව වෙත මේ උරුමය ගෙන යෑමයි. 2016 වර්ෂයේ මාර්තු මස 13 වැනිදා විවෘත කළ ඉපැරැණි ගම අද වන විට ලැබූ සහ ලැබෙමින් පවතින ප්‍රගතිය අපමණය. පාසැල් දුවා දරුවන් ඉපැරැණි ගමට පැමිණ ලබන දැනුම පමණක් නොව ආශ්වාදය ද ඉමහත් ය.

ඉපැරැණි ගමට පැමිණෙන ඕනෑම අයෙකුට ඉතිහාසය, කමත, ගැමි ජන සංස්කෘතිය, ඇතුළු ග්‍රාමීය කර්මාන්ත යනාදීය පිළිබඳ අපුරු දැනුම් සම්භාරයක් ලැබෙයි. ආරච්චි මහතා, ගොවි මහතා හා වෙද මහතා ඕනෑම අයෙක් ඕනෑම වෙලාවක අසන පැනයකට විසඳුම් ලබා දෙමින් දැනුම නොපැකිලිවම ලබා දීමට වෙර දරන්නෝය. 26 දෙනෙකුගෙන් පමණ සමන්විත කාර්ය මණ්ඩලයක් කටයුතු කරන ඉපැරැණි ගමේ විධායක නිලධාරිතුමා වන්නේ අනුරුද්ධ බණ්ඩාර මහතා ය. ඉපැරැණි ගමේ සුබ සිද්ධිය වෙනුවෙන් ඕනෑම වෙලාවක, ඕනෑම කටයුත්තක් නිවැරැදිව මෙහෙය වන්නත්, ක්‍රියාත්මක කිරීමටත් ඔහු නිතර වෙහෙසෙන්නේය.

අපේ ඉපැරැණි හෙළ සංස්කෘතිය කාලයාගේ ඇවෑමෙන් දුරස් වෙන්නට යත්ත දරණ පාරිභෝගික සමාජයේ මෙවන් මහඟු මෙහෙවරකට දායකත්වය සපයන්නට වෙහෙස දැරීම සාඩම්බරයකට කරුණකි.

ඉපැරැණි ගමක තිබිය යුතු සෑම අංගෝපාංගයක්ම ඇති මේ ඉපැරැණි ගම විසින් කොහොඹා කංකාරිය, සොකරි වැනි දෑ මහජනයාට ප්‍රදර්ශනය කිරීම ද අරඹා ඇත. තවද නොයෙක් ආකාරයේ කෘෂිකර්මාන්තය හා බැඳි චාරිත්‍ර ද ප්‍රදර්ශනය කිරීමටත් හා දැනුම බෙදා දීමටත් අත ගසා ඇත.

දේශීය වෙදකම පිළිබඳ අවබෝධයත්, ඊට යොදාගත් පැළැටි හා ඖෂධ වර්ග දැක බලා ගැනීම පමණක් නොව දේශීය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ද ඔබට හැකිය.

ආරච්චිලගේ ගෙදරදී ඔබට සැබෑ ජීවමාන ආරච්චි මහතෙකු හමුවේවි. සාම්ප්‍රදායික ආච්චිල ගෙදර භාවිත කළ තිරික්කලය, හාන්සි පුටු, ඇඳ, මේස, කනප්පු, මුං අං තට්ටුව, ඉලත්තට්ටුව, කෘෂි උපකරණ, කුස්සියේ උපකරණ දැක බලා ගැනීම පමණක් නොව කදිම දැනුමක් ද ලබා ගත හැකියි.

*මහ ගමරාළ ගම ගෙදරට වී බලා සිටිනුයේ ඔබගේ පැමිණීම යි. ගොවීන්ගේ ප්‍රධානියා වන ගමරාළගේ ගැමි නිවසේ සියලු උපකරණ, ගෘහයේ විවිධාංග යනාදිය ඔබට හමුවේවි.

කුඹල් ගෙදර සජීවි කුඹල් කරුවන් සිටී. ඔවුන් සිය වෘත්තියේ නියැළෙන අයුරු දැක බලා, ඔවුන්ගෙන් භාණ්ඩ මිලදී ගැනීමටත් ඔබට හැකියි.

අත් යන්ත්‍ර රෙදි නිෂ්පාදනය සබරගමුවට ආවේනික කර්මාන්තයකි. කපු කටින රෝද, නුල් වර්ණ හැල්වීම, දැකබලා රෙදි පිළි මිලදී ගත හැකියි.

කම්මල තුළින් මයිනහම, දඬු අඩුව, කිනිහිරය ආදී උපකරණ මඟින් යකඩ ආශි‍්‍රත උපකරණ නිෂ්පාදනය කරනා අයුරු පෙනේ.

වඩු මඩුවේදී ගොවි උපකරණ, ජනෙල් දොරවල් තැනීම වැනි කාර්යයන් සිදු කරන බාසුන්නැහැ සහ ඔහුගේ කර්මාන්තය දැක බලා ගත හැකියි.

පුරාණ ගම්වාසීන් නිතර දෙවේලේ රැස්වෙන කෝපි කඩේට ගොඩ වී ඔබටත් තේ පානය කොට වෙහෙස නිවා ගත හැකියි.

ශ්‍රී ලාංකික ගැමි සමාජය බුදු දහම හා බැදුනකි. ආගමානුකූල ජීවිතයකට හුරු වූ බව පන්සලෙන් අර්ථවත් වෙයි.

ගමේ සශි‍්‍රකත්වයේ සංකේතය වැව යි. එදිනෙදා ජීවිතයට අවශ්‍ය සියලු ජල අවශ්‍යතාවයන් ලබා ගන්නේ වැවෙනි. මෙහිදී ද වැවක් ඔබට දැකබලා ගත හැකියි.

හේන් ගොවිතැන හා සම්බන්ධ හේන, දඬු වැට, ගස මත බැඳි පැල ඔබට දැක ගත හැකියි. ධාන්‍ය, අල වර්ග. පලා වර්ග හා බෝගවලින් පිරි හේනක් ද දැක ගත හැකියි.

කෘෂි කාර්මික ජන උරුමය බැඳී ඇති වෙල්යාය, කමත, වී බිස්ස ද මෙහි දැක ගත හැකියි.

සංක්‍රමණික ජන වර්ගයක් වන අහිගුණ්ටික ජනයා සිහි ගැන්වීම සඳහා අහිගුණ්ටික ජනාවාසයක් ඇත. පිඹුරන්, නයින්, රිලවුන් නටනවා බලා ගත හැකි අතර අත බලා ශ්‍රාස්ත්‍රයක් ද ඇසිය හැකියි.

මීට අමතරව පින්නවල ඉපැරැණි ගමෙන් ඔබට බොහෝ සේවාවක් ලබා ගත හැකියි.

ඒ අතර, පැරැණි ගමක අත්දැකීම ලැබීම, දේශීය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත හැකි වීම, සම්ප්‍රධායික ආහාර ලබා ගත හැකි වීම, වීඩියෝ, ඡායාරූප සඳහා දර්ශනතල, සංස්කෘතික අධ්‍යපන වැඩසටහන්ථ බෝට්ටු පැදීම යනාදී මා ඔය ආශි‍්‍රත ජල ක්‍රියාකාරකම් යනාදිය ද අත් විදිය හැකියි.

ශ්‍යාමා සමරසිංහ

ඡායාරූප - නිශ්ශංක විජේරත්න

Location name: 

පින්නවල ඉපැරැණි ගම