අපේ‍්‍රල් මාසය නැතිනම් බක් මාසය එසේත් නැතිනම් සිංහල අවුරුදු සමය ලොකු කුඩා කාටත් සිතට සතුටක් ගෙන දෙන කාල පරිච්ඡේදයකි. කැවුම්, කෙසෙල්, කිරිබත් ඇතුළු රස කැවිලි ද, අලුත් ඇඳුම් පැළඳුම් සහ නෑදෑ හිතවතුන් සමග සතුටින් කෙළිදෙළෙන් ගෙවන කාලයකි සිංහල හින්දු අලුත් අවුරුද්ද. වසරකට වතාවක් සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සම්ප්‍රාප්ත වීම ස්වභාවධර්මයේ රිද්මයකි. අපේ‍්‍රල්් මාසය යනු අතීතයේ සිට වර්තමානය දක්වා වූ කාල පරාසය තුළ සශ්‍රීකත්වය මුල් කර‍ගත් මාසයකි.

මහින්දාගමනයත් සමඟින් ඇති වූ බුදු දහමේ බලපෑම ද මිහිඳු මහරහතන් වහන්සේ සමඟ පැමිණි කුල ගණනාවක ජනතාවගේ ආගම වූ හින්දු ආගමේ බලපෑම ද මෙරට ජන ජීවිතයට දැඩි ලෙස බලපෑ බවට සැළකිය හැක්කේ අලුත් අවුරුදු උත්සවය සමඟ ඡ්‍යෝතිෂයට එක් වීම නිසාවෙනි.

සිංහල හින්දු අලුත් අවුරුද්ද, සිංහල අලුත් අවුරුද්ද නැතිනම් සිංහල දමිළ අලුත් අවුරුද්ද යනා දී වශයෙන් අර්ථකථනයට විචාරයට ලක්ව තිබෙන මෙම උත්සවයේ ඉතිහාසය සම්බන්ධයෙන් ඒ පිළිබඳ පර්යේෂණවල නියැළුණන්, ජනශ්‍රැති පර්යේෂකයන්, විශ්වවිද්‍යාලවල ආචාර්ය මහාචාර්යවරුන් සහ විද්‍යාර්ථීන් ද විවිධාකාරයේ අදහස් දක්වති.

සිංහල හින්දු අලුත් අවුරුද්ද වශයෙන් මෙම සංස්කෘතික උත්සවය හැඳීන්විය නොහැකි බවට පැවසෙන්නේ උතුරු ඉන්දියාවේ හින්දු භක්තිකයින් අතර අපේ‍්‍රල් මස අප සමරන ආකාරයේ කිසිදු උත්සවයක් නොපවතින බැවිනි. එම නිසා සිංහල හින්දු අලුත් අවුරුද්ද ලෙස නොව සිංහල දමිළ අලුත් අවුරුද්ද ලෙස මෙම උත්සවය හැඳීන්විය යුතු බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ අංශාධිපති මහාචාර්ය එච්.එම්.ඩී.ආර්. හේරත් මහතාගේ අදහස යි. ඔහුට අනුව අවුරුද්ද හා ඡ්‍යොතිෂය අතර බැඳීම ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට ම එන්නක් බව යි.

මෙරට සිංහල සහ හින්දු ජනතාව විසින් සමරනු ලබන අලුත් අවුරුදු උත්සවයේ ආරම්භය පිළිබඳ විවිධ මත පැවතිය ද, ඒ සෑම එකක්‌ ම පාහේ වසර දහස්‌ ගණනක අතීතයකට යොමුවන බව පෙනේ. සිංහල අලුත් අවුරුදු උත්සවයේ ආරම්භය පිළිබඳ මහාචාර්ය නලින් ද සිල්වා මහතාට අනුව එය සැමරීම ආරම්භ කරනු ලැබ ඇත්තේ අතීත යක්‌ෂ ගෝති‍්‍රකයන් විසිනි. එහිදී අලුත් අවුරුද්ද වශයෙන් පිළිගැනුණේ සූර්යයා රේවතී නැකතේ සිට අස්‌විද නැකතට සංක්‍රමණය වීම යි. පසුකලෙක බටහිර ආසියාතික ප්‍රදේශවල ඇති වූ ලග්න හෙවත් රාශි සංකල්පය ලාංකික නිර්මාණයක්‌ වූ නැකැත සමඟ සම්මිශ්‍රණය වීමෙන් මීන රාශියේ සිට මේෂ රාශියට සූර්යයා සංක්‍රමණය වීම අලුත් අවුරුද්ද වූ බව මහාචාර්ය නලින් ද සිල්වා මහතාගේ අදහස යි.

සිංහල අලුත් අවුරුදු උත්සවයේ ආරම්භය සම්බන්ධයෙන් ආචාර්ය සූරිය ගුණසේකරයන් දරන්නේ වෙනත් මතයකි. ඒ මහතාට අනුව බක්‌ මාසයේ අස්‌විද නැකත යෙදුණු දා ජන සම්මතයෙන් පත්කරගනු ලැබූ මහා සම්මත මනු රජුගේ ඔටුණු පැළඳවීම සිදුකෙරුණු අතර එදින සෘජුව හිරු එළිය පතිත වූ දිනයක්‌ බවත්, වාර්ෂිකව එදිනට උත්සවයක්‌ පැවැත්වීමට සිංහලයන් විසින් කටයුතු කරනු ලැබූ බවත් ය. සූර්ය මංගල්‍යය නමින් හඳුන්වනු ලැබූ එම උත්සවය පසුකලෙක සිංහල අලුත් අවුරුදු උත්සවය වන්නට ඇති බව ඒ මහතාගේ අදහස යි.

අපේ‍්‍රල්් මාසයේ පරිසරයේ සිදුවන ඵලබරවීමත් සමඟ සූර්ය මංගල්‍යය වසන්ත උත්සවයක්‌ වශයෙන් ද පිළිගැනුණු බවට මහාචාර්ය විනී විතාරණ මහතාගේ අදහස යි. සීගිරිය කේන්ද්‍ර කොටගෙන මෙම උත්සවය පැවැත්වෙන්නට ඇති බව ඔහුගේ විශ්වාසය යි. සාහිත්‍ය මූලාශ්‍ර අනුව වසන්ත උත්සවයක්‌ පැවැත් වූ බවට හමුවන පැරණිතම සාධකය හමුවන්නේ පොළොන්නරු යුගයට අදාළවය. ඒ දකුණු දේශයේ පාලක කිත්සිරි මේඝ කුමරු විසින් වසන්ත උත්සවයක්‌ (වසන්ත කීළං) පවත්වන ලද බවට එන සඳහනයි. එහෙත් පණ්‌ඩුකාභය රජු විසින් චිත්‍රරාජ සමඟ සම අසුන් ගෙන පවත්වන ලද උත්සවය ද සූර්ය මංගල්‍යයක්‌ විය හැකි බවට මහාචාර්ය විනී විතාරණ අනුමාන කරන්නේ චිත්තරාජ යන්න සූර්යයාට භාවිත කරන ලද අපර නාමයක්‌ වීම හේතුවෙනි.

සිංහල අලුත් අවුරුදු උත්සවයට සේම දෙමළ ජනතාව විසින් සමරනු ලබන අලුත් අවුරුදු උත්සවයට ද අනාදිමත් කලකට දිවයන ඉතිහාසයක්‌ තිබෙන බව කැලණිය විශ්වවිද්‍යාලයේ හසිත චාමිකර ගුණසිංහ මහතා පුවත්පතකට ලිපියක් සපයමින් පවසා සිටියි. ඒ මහතාට අනුව ‘පුත්තන්ඩු/පුතන්ඩු’ නමින් හඳුන්වනු ලබන හින්දු අලුත් අවුරුදු උත්සවය වාර්ෂිකව අපේ‍්‍රල් 14 වනදා තමිල්නාඩු, කේරළ, පොන්ඩිචෙරි ආදී ප්‍රදේශවල පමණක්‌ නොව ලංකාව, මලයාසියාව හා සිංගප්පූරුව වැනි රටවල දෙමළ ජනතාව විසින් සමරනු ලබයි.

හින්දු විශ්වාසයට අනුව මහා බ්‍රහ්මයා විසින් විශ්වය මවන ලද්දේ ද, සත්‍ය යුගය නම් වූ යුගය ආරම්භ වන්නේ ද අපේ‍්‍රල් මාසයේ 14 වනදා වන හෙයින් එදිනට හින්දු අලුත් අවුරුද්ද යෙදුණු බව කියැවේ. ඡ්‍යොතිෂය ද හින්දු දහම සමඟ සමීප සබඳතාවක්‌ පවත්වන හෙයින් සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීමද හින්දු අලුත් අවුරුදු උත්සවය එදිනට පැවැත්වීමට තවත් හේතුවක්‌ වී තිබේ. අනෙක්‌ අතට මේ කාලසීමාවේ සිදුවන පාරිසරික වෙනස්‌කම් ද ඒ සඳහා බලපෑමක්‌ කරන්නට ඇත.

සිංහල අලුත් අවුරුද්දේදී අනුගමනය කරන තරම් චාරිත්‍ර - වාරිත්‍ර විධි පුත්තන්ඩු උත්සවයේ දැකගත නොහැකි නමුත් ආගමික වතාවත්වල යෙදීම් පුණ්‍ය කාලම්’, ඖෂධ මිශ්‍ර ජලය ස්‌නානය කිරීම් මරුති නියර්’, අලුත් අවුරුදු දින උදෑසන මව විසින් පවුලේ සාමාජිකයන්ට සුබ දසුනක්‌ පෙන්වීම් ‘කන්නි’, ගනුදෙනු කිරීම ‘කාසි විශේෂම්’, වැඩ ඇල්ලීම් ‘ආර්පුඩු’ වැනි විශේෂ සිරිත් කීපයක්‌ මෙහිදී දැකගත හැකිය.

අනාදිමත් කලක පටන් සිංහල හා දෙමළ ජනවර්ග ලංකාවේ ජීවත් වූ හෙයින් සූර්යයාගේ ගමන පදනම් කරගනිමින් පවත්වන ලද සූර්ය මංගල්‍ය නොඑසේ නම් අලුත් අවුරුදු උත්සවය සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය වශයෙන් පැවැත්වීම ආරම්භ වූයේ කිනම් කාලවකවානුවේ පටන්දැයි නිශ්චිතව කිව නොහැක.

ආරම්භය ඉහත ආකාරයෙන් කෙසේ සිදුවුවත් ශ්‍රී ලාංකිකයන්ගේ සංස්කෘතික මහා මංගල්‍යය මේ වනවිට විවිධ වෙනස්වීම්වලට, විවිධ ආගම් සහ සංස්කෘතීන් සහ විෂයයන්ගෙන් බලපෑම් අනුව ඒ ඒ කාලවකවානුවලදී වෙනස්කම්වලට ගොදුරු වෙමින් වර්තමානය වෙත පැමිණ ඇත.

පී.කේ. බණ්ඩාර

ඡායාරූප - නිශ්ශංක විජේරත්න

සූර්ය මංගල්‍යයේ ඉතිහාස කතාව