ක්ෂිතිජ ඉමෙන් මෝදුවන රන්වන් හිරුගේ රැස් දහරින් නීලවර්ණ ජලතලය දිලෙයි. විටෙක සුදෝ දසන් පෙන්වා සිනාසෙන ඇය, තවත් විටෙක තම දෑත් දිගු කරමින් වැළදගන්නට උත්සාහ කරනුයේ තම හිමි සඳු විය නොහැක්කේ ද? රහල් හිමිගේ සමුදුරු වර්ණනාවෝ යථාර්ථයක් බවට පත් කරමින් අප නෙතු අද්දර සිත්තම්වන මේ චමත්කාරජනක සිතුවම අකුරු කරන්නට නම් ඉමහත් වෙහෙසක් දැරිය යුතු බව හැගෙයි. පරිසරය එතරම්

නෙත සිත වශී කරගන්නට සමත් වෙයි.
දිගු රැයක අවසානයේ තම සටනින් ජය ද පරාජය ද සම සිතින් දරා ගනිමින් නිවස්න කරා ඇදී එන්නා වූ සැමියාගේ රුව දකිනු රිසියෙන් පොල් රුප්පාවේ සෙවණකට වී බලා සිටින්නා වූ බිරින්දෑවරුන් ද බඩවියත සරිකරගනු වස් ජීවිකාව පිණිස කූඩා අතැතිව බලා සිටින්නා වූ ළදුන් ද මෙහි දැකිය හැකිය . කෙමෙන් කෙමෙන් හිරු දිනයක ඇරැඹීම සනිටුහන් කරන විට දී සිහිල් මද පවනක පහස විඳීනු රිසියෙන් සුසුනිඳු වැලි තලාවේ වැතිර හිරු කිරණින්   ගත සරසනු රිසියෙන් හෝ සිසිල් සමුදුරු දියණියගේ සෙනෙහසින් පිරි ජල තලයේ කිමිද ජලකෙළියෙ හි නිරතවනු රිසිව හෝ මෙහි යනෙනවුන් බොහෝමයකි. ඔවුහු මේ බිමට ආගන්තුකයෝ වෙති. එහෙත් මේ සොබා සිරිය

දැක්මේ රිසියෙන් සත් සමුදුරු තරණය කරමින් මෙහි පැමිණියෝ වෙති. ඒ සඳහා මෙහි කිසිවෙකුටත් තහනමක් නැත. රිසි සේ කාලය ගෙවන්නට ඔවුනට අවැස 

කොළඹ නගරෙය් සිට කිලෝමීටර 55ක් පමණ දකුණු දෙසින් පිහිටි බේරුවල, දකුණු ලක වෙරළ තීරයේ කළුතර හා වාද්දුව පසුකරමින් ළගා විය යුතු අති රමණිය වෙරළ තීරයකට හිමිකම් කියන නගරයකි. කළුතර සිට බේරුවලට කිලෝමීටර 15 ක පමණ දුර ගෙවා පැමිණිය යුතුය. බේරුවල පසු කරමින් ගාලු පාර ඔස්සේ ඉදිරියට ඇදෙන්නෙකුට සංචාරකයින්ගේ ආකර්ෂණයට නතුව ඇති තවත් සුන්දර වෙරළ තීරයකට පිවිසිය හැක්කේ ය. ඒ බෙන්තොට යි. නොගැඹුරු වෙරළින් හා පුළුල් වූ වැලි තලාවන්ගෙන් ද හරිත වර්ණ වූ පොල් රුප්පාවෙන් ද හැඩ වූ මේ වෙරළ තීරයන් හි කාලය ගෙවා දමන්නට යුරෝපීයයෝ සිහින දකිති. ඒ තරමට ම මේ දර්ශනීය වෙරළ තීරය සංචාරකයින් අතර ප්‍රසිද්ධියට පත්ව ඇත.
ඉන්දියානු සමුදුරට අයත් වන විසල් ජල කද රන්වන් වූ වෙරළ තීරය කරා ඇදී එන්නේ එය අයිති කරගන්නට මෙනි. එහෙත් විඩාපත් ව ඔවුහු නැවත දියඹ වෙතම ඇදී යන්නා හ. විටෙක මුදු මොලොක් ස්වරූපයෙන් දෙපා පිස ගලා ගිය ද ඇතැම් විටෙක ඔවුහු රුදු ස්වරූපයට හැරී දෙපා දණවටක් දක්වා දියෙහි ගිල්වන්නට සමත් වෙයි.
රිටිපන්න ධීවර කර්මාන්තයේ යෙදෙන්නා වූ ධීවරයින් අව් වැසි පීඩා නොසළකා හරිමින් මෙහි නිරතව සිටින අයුරු දැක ගත හැකිය. එය මෙහි පැමිණෙන සංචාරකයින්ට නවමු අත්දැකීමක් ගෙන දෙන්නට සමත් වෙයි. රිටක් මත සිටින ධීවරයින්ගේ රුව විවිධාකාරයෙන් සිත්තම් කරමින් හෝ දැව කැටයමට සිත්තම් කරමින් ජීවිකාව ගෙනයන්නෝ ද මෙහි වෙති. 
ඉහළ පහළ යන රළ මත ජල කෙළියෙහි යෙදෙන්නට රිසියවුන් විවිධාකාර වූ අත්හදාබැලීම් සිදු කරන අයුරු බලා සිටීම ද ආශ්වාදජනක වූ අත්දැකීමකි. සුරතල් කුඩා දගකාරෙයකු දියමත ලිස්සා යෑමට තම පියා සමගින් රළ වෙත ඇදී යන අයුරු පෙනෙයි. ඔහු තවමත් ළමා වියෙහි  වුව ද අභියෝග පි‍්‍රයකරන්නෙකු බවට දිලෙන නෙතු යුවළ සාක්ෂි දරයි. එක් පෙසකින් කුඩා පුවරුවක් මත සිටගනිමින් ජලය මත ලිස්සා යෑමට  (ඹඪදඤ ඵභපටඪදඨ) උත්සාහ කරන ලොකු කුඩා සියල්ලෝ ම එම අභියෝගය ජය ගන්නට දරන උත්සාහය අගය කළ යුතුය.

එපමණක් නොව ජලය මත ඇවිදින්නට කැමැති අයවලුන්ට ඒ සඳහා යාත්‍රාව ආධාරයෙන් ජලය මත ඇදී යන මෝටර් සයිකල් ආධාරයෙන් වේගයෙන් රළ පෙළ අභිබවා ඇදී යා හැකිය. 
රන්වන් වෙරළ තීරය ඔස්සේ ඇවිද යද්දී දෙපා අබියස නවතින සොබා දහමේ තවත් අපූර්ව දායාදයකි: සිප්පි කටු. නෙක වර්ණයන්ගෙන් හා රටාවන්ගෙන් හැඩ වූ කවචයන් නැතහොත් සිප්පි කටු, කොරල් කැබලි ඇවිදිමින් සමරු සටහන් එකතු කරන්නෝ ද මෙහි දැකිය හැකිය. ලොකු කුඩා කිසිවෙකුටත් වයස් සීමාවක් නොමැතිව මේ සොදුරු වෙරළ තීරයේ ඇවිද යා හැකිය. 
රන්වන් පැහැගත් හිරු දියෙහි ගිලෙමින් පවසන්නේ දවස අවසන් වන බවයි. අහස් කුස පුරා ඇදෙන චමත්කාරජනක නෙක නෙක වර්ණ රටාවලින් සුන්දර වෙරළ තීරය හැඩවෙයි. එහෙත් මෙයින් නික්ම යන්නෝ නම් නොවෙති. ඔවුහු තවත් රැදී සිටින්නේ නිශායාමයේ සුන්දරත්වය විද ගනු රිසියෙනි. එහෙත් මතක පමණක් රැගෙන අපි මේ සොදුරු ඉසව්වෙන් සමු ගතිමු.

බුද්ධික එස් රත්නායක 
ඡායාරූප - නිශ්ශංක විජේරත්න

 

 

Location name: 

රිසිසේ කාලය ගෙවන්නට කදිම බෙන්තර වෙරළ