උඩුදුම්බර සිට මඩුගල්ල මාර්ගයේ මැදිවක හන්දියෙන් පහළට ඇති පල්ලේවෙල පන්සල මාර්ගයෙන් මද දුරක් යා යුතුය.කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයට අයත් විහාරස්ථානයකි. මැදවක විහාරස්ථානය යනුවෙන් ද හැදින්වෙන්නේ මේ රජමහා විහාරය යි. උඩරට රාජධානිය පැවැති යුගයේ, දළදා වහන්සේ විදෙස් සතුරු උපද්‍රවවලින් බෙරා ගැනීමට උඩරැටියන් ට මහත් වෑයමක් දැරීමට සිදු වු අවස්ථා බොහෝ ය. එවන් අවස්ථාවල විවිධ ප්‍රදේශවල යම් යම් තැන්වල සඟවා තබා ගනිමින් දළදාව රැක ගැනීමට සිදු විය. එලෙස දළදා වහන්සේ සඟවා තබා ගනිමින් පුද පුජා ලබමින්, පවත්වමින්. එක් දිනක් මෙහි වැඩ සිටී බව ඉතිහාසයේ සඳහන් වේ. ඉපැරණි ආශ්චර්යවත් පුරාවෘත්තයක් මෙම විහාරය සතුව ඇති බව කියවේ.

නුවර යුගයේ එහි අවසාන යුගයට අයත් අලංකාර සිතුවම්වලින් ද මෙම පුදබිම අලංකෘතව පවතී. රාජසිංහ රජුගේ මඟුල් මඩුවේ තිබූ ලී කණු යොදා ගෙන මෙම විහාරගෙය නිර්මාණය කර ඇත. මහනුවර මඟුල් මඩුවෙත් මෙම විහාරයෙත් ඇති ලී කණු ආශ්‍රිතව සසඳා බලන විට යම් සමානතාවක් අදත් දක්නට ලැබේ. එම කණුවල ඇති මනරම් ලී කැටයම් අතීතතයේ නටබුන් අපට සිහිකරවයි. පල්ලේවෙල විහාර පරපුරේ ආරම්භක විහාරස්ථානය මෙය වේ. විහාරාධිපති පරපුරේ පෝප්පිටියේ සුමංගල හිමියෝ මෙහි අධිපතිත්වය දරා සිටිති. වෙල් යායක් මැද පිහිටි මනරම්, බැතිසිත් උපදනා විහාරස්ථානය කි. ගම් දෙකක් මායිම් කරමින් ගලා බසිනා දොළපහරක් අද්දර පිහිටි මේ පුදුබිම කාගේ වුවද නෙත් සිත් රමණීය සිතුවිල්ලෙන් පුරවා දමයි.

 

ශ්‍රී මුරුගන් කෝවිල

උඩුදුම්බර සිට හුන්නස්ගිරිය මාර්ගයේ ඉන්ධන පිරහුම්හල අසලින් මී මුරේ දෙසට යන මාර්ගයේ මීටර් 100 ක් පමණ ගිය තැන මේ කෝවිල පිහිටයි. කෝවිලක් වුවද ප්‍රදේශවාසීහු මෙයට මුරුගන් දේවාලය යනුවෙන් ද හඳුන්වති. ප්‍රදේශයේ හින්දු බැතිමතුන්ගේ ආගමික කටයුතු වෙනුවෙන් මේ දේවාලය ඉදිකොට ඇත. බොහෝ දිගු ඉතිහාසයක් නැතත් වසර 50-60 ක් වන ඉතිහාසයකට මේ කෝවිල නෑකම් කියයි. ප්‍රදේශයේ ද්‍රවිඩ ජනයා වෙනුවෙන් හින්දු කෝවිලක් නැති අඩුව පිරවීම උදෙසා අතීතයේ ඉතා ප්‍රාථමික අයුරින් ගොඩනැගූ මෙය අද වන විට තරමක් කැපී පෙනෙන අයුරින් දිස් වෙයි. ගණ දෙවියන්ගේ පිහිට හා ආශිර්වාදය තම ජීවිතවලට ප්‍රාර්ථනා කරමින් දෙවියන්ට පුද සත්කාර කිරීම මෙහි සිදු කෙරේ. කතරගම දෙවියන් වන්දනාව ද සිදු කෙරේ. කෙසේ වෙතත් වර්තමානය වන විට ප්‍රදේශයේ දේවාලසමිතිය මගින් මෙය පාලනය වන අතර විශේෂ දිනයන්හි පුද සත්කාර හා දේවාශිර්වාද පතා විශේෂ පුද පුජා ද පැවැත් වේ.

 

ලූල්වත්ත දිය ඇල්ල

මහනුවර සිට මහියංගණ මාර්ගයේ හුන්නස්ගිරි ඉන්ධන පිරවුම් හළ අසලින් වැටී ඇත්තේ මී මුරේට යන මාර්ගයයි. ලූල්වත්ත, මී මුරේට යන මාර්ගයේ දී හමුවන සන්ධිස්ථානයකි. ලූල්වත්තේදී වම් පසින් මේ දිය ඇල්ල හමුවේ. ලූල්වත්තේදී හමුවන දිය ඇල්ල ලූල්වත්ත දිය ඇල්ල නමින් හැදින්වේ. ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා මෙහි ජලය වඩාත් සක්‍රීය වෙයි. ඒ, වර්ෂයේ වැඩි වර්ෂාපතනයක් මේ කාලසීමාව තුළ ඇද හැළෙන බැවිනි. දුම්බානා කදුවැටියත්, දෝතුළුගල කදුවැටියනුත් පැන නගින දිය සීරාවෙන් මේ දිය ඇල්ල පෝෂණය වේ. මී මුරේට යන සංචාරකයන්ට මෙය කදිම දර්ශනයකි.

හෙයා පාර්ක් වතු බංගලාව

 

 

මෙරට වතු පාලනයට පැමිණි ඉංග්‍රීසි ජාතික අධිකාරිවරුන්ට නවතැන් ගැනීම සඳහා මෙම බංගලාව ඉකි කර තිබේ. කාමර 04 ක්, එම කාමරවලට සම්බන්ධ කර ඉදි කළ කාර්යාල කාමර, කුස්සියක්, බිලියට් කාමරයක්, නවීන අංගෝපාංගයන්ගෙන්සමන් විත නාන කාමර ද මෙහි දක්නට ලැබේ. දැකුම්කලු පරිසරයක ඉදිකර ඇති මෙම බංගලාව දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත් ඇද බැදගත් ස්ථානයක් බවට පත්ව තිබේ. ඉංග්‍රීසි සමයේ ඉදි කළ ඇතැම් උපාංග මෙහි තවමත් තිබුණ ද කාලයාගේ ඇවෑමෙන් විනාශයට පත්ව ඇත.

රජගල කන්ද

මහනුවර සිට මහියංගණය දක්වා දිවෙන මාර්ගයේ උඩුදුම්බර හා මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මායිම්ව පිහිටා ඇත. සෙංකඩගල අවසන් රජු වන රාජසිංහ රජුට ඉංග්‍රීසින්ගෙන් දැඩි ප්‍රහාරය එල්ල වන විට රජු ආරක්ෂාව පතා මේ කන්ද දෙසට ගොස් එහි බළකොටුවක් තනා ඇත. මේ කන්දෙහි බළකොටුව තිබූ බවට නෂ්ඨාවශේෂ අදටත් දක්නට ලැබේ. රජු බලකොටුව දෙසට ඇදී එන අතරමඟදි මැද මහනුවරදී ඉංග්‍රීසීන්ගේ අත්අඩංගුවට පත් විය. රජු බලකොටුව බැන්ඳ කන්ද එතැන් පටන් රජගල කන්දේ සිට මැද මහනුවර දෙසට උමඟක් ද තිබී ඇත. එහි නටඹුන් අදටත් දිස් වේ.

එම උමඟ තිබු තැන්හි ගිලා බැස ගිය අයුරු අදටත් දැක ගත හැකියි. රජගල කන්ද අද විවිධ තුරුලතාවලින් පිරුණු පරිසර පද්ධතියකි.

Location name: 

ශ්‍රී උපෝසථාරාම රජමහා විහාරය