සිංහලේ නිදහස් සටන දිනාගැනීම උදෙසා වඩාත් දායකත්වයක් දුන් සිංහල ජනතාව අතර කන්ද උඩරට වැසියන්ගේ කැපවීම වඩාත් ප්‍රසංශනීය වේ. දැඩි දේශ හිතෛෂී, දේශානුරාගයෙන් පිරිපුන්ව සුද්දාට එරෙහිව තම අභිමානය පෙන්වූ කන්ද උඩරට ජනතාව අතර කැපීපෙනෙන සටන් මෙහෙයවූ විරුවෝ බොහෝ ය. තම ජාතිය හා දේශය මුදා ගැනීමේ අවංකතම චේතනාවෙන් යුතුව සටන් බිමට බට මේ විරුවෝ සදාානුස්මරණීය වේ. කැප්පෙටිපොළ මහාදිකාරම්,කොහුකුඹුරේ රාල,හිටිහාමි,පිහිඹිය රාල වැනි චරිත සිංහලේ නිදහස වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් යුතුව කටයුතු කළහ. එවන් විරුවන් නොසිටියා නම් අපට අද අතීතයක් නැති තරම් ය.

1818 දී වෙල්ලස්සෙන් ඇරඹි අධිරාජ්‍ය විරෝධී සටනට මොනරවිල කැප්පෙටිපොල දිසාවේ ප්‍රමුඛව නායකත්වය දුන් මඩුගල්ලේ දිසාව ද ඉන් විශිෂ්ට චරිතයකි. ඔහු ජීවත්වූ මඩුගල්ලේ වලව්ව අදත් අතීතයෙන් හිස ඔසවා ජාතිය දෙස බලා සිටිනු වැනිය.

උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මේ ගම්මානය වසර පන්සියයකටත් එහා ගිය ඉතිහාසයක් දක්වා දිව යනු ඇත. දේශය වෙනුවෙන් දිවි පිදූ මඩුගල්ලේ පරපුරේ නෑදෑයන් තවමත් මේ වලව්ව කේන්ද්‍රකොටගෙන ජීවත්වනු දැකිය හැකිය. මඩුගල්ලේ පාසල පසුකොට මිටර් පන්සියයක් පමණ කලවල දෙසට ගොස් වමට හැරී දිය අගලක් අසලින් මඩුගල්ල වලව්වට පිවිසෙන මාර්ගය වැටී ඇත. අද වන විට මෙම මාර්ග නවීකරණය වී ඇති බව පෙනේ.

මඩුගල්ල වලව්වේ අද භාරකරු වන්නේ මඩුගල්ලේ පරපුරේ මී මුණුපුරකු වන ස්ටර්ලීන් මහින්ද බණ්ඩාර මඩුගල්ලේ ය. මේ මඩුගල්ල වලව්ව තවත් විශේෂත්වයක් ඉතිරි කර ඇත. පරසතුරු උවදුරුවලින් ශ්‍රී දළදා වහන්සේ රැක ගැනීමට මේ වලව්ව උපකාර කර ඇත. වලව්වේ වහළයේ පරාලය සිදුරු කොට ඒ තුළ දළදාව සඟවා රැක දීමට එදා ඔවුහු සමත් වූහ. අද ද එය දැකගත හැකිය. රන්දෙණිගල රක්ෂිතයට මායිම් වන මඩුගල්ලේ වලව්ව ඉතා සුන්දර පරිසරයක පිහිටා තිබෙනු දැක ගත හැකිය. ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය වූ මේ ගමට ඉතා වටිනා අතීත උරුමයක් වන්නේ මේ වලව්ව ය. එහෙත් කාලයාගේ ඇවෑමෙන් මේ පැරැණි උරුමය ගරාවැටෙමින් විනාශ මුඛයට ඇදවැටෙමින් තිෙබි.මේ ජාතින උරුමය රැකගැනීම ට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සතු කාර්යයක් වනු ඇත. තවත් කල් නොයවාම අදාළ සුරැකීමේ පියවර ගන්නේ නම් එය ප්‍රඥාා ගෝචර වනු ඇත. සුවිසල් මැද ම්දුල් දෙකකින් සමන්විත වූ මෙන්ම ඉතා ගනකම් සහිත උළුවහු දොරපියන්වලින් මේ වලව්වට ගම්භීර බවක් ලැබී ඇත. වලව්ව අසලින් ගලාබසින දිය අගලට යොදා ඇත්තේ ගල් ඒදණ්ඩකි. පැතලි ලොකු කළුගල් කුට්ට් සෑම අව්‍යතාවක් සඳහා ම යොදාගෙන ඇත. දැව සහ මැටි වරිච්චි යොදාගෙන බිත්ති සාදා ඇත. වැහිපීලි සඳහා යොදාගෙන ඇත්තේ දැවයෙන් කළ, පීලි ලෙස හාරා සකස් කළ දැව කොටස්ය.

අතීතයේ දී මේ වලව්වට අයිති අලි ඇතුන් පස්දෙනකු සිටි බව කියැවේ. එක් ඇතින්නක වූයේ “සුරතලී ය”. පසු කලෙක “සුරතලී” දළදා මැඳුරට පූජා කළ බව සඳහන් ය.

අභිමානවත් වලව්වේ වපසරිය හා ඓතිහාසික අංගෝපාංගයන්ට දැඩි හානි සිදුවෙමින් තිබේ. ඉපැරණි ගල් පඩිපෙළ හා ළිඳ කොන්ක්‍රීට් කර ඇත. පෞරාණික බව විනාශ වී ගොසිනි. ජාතියේ අභිමානයට හා සම්භාවනාවට අදත් පාත්‍රවන මඩුගල්ලේ නාමයෙන් මේ වලව්ව මතුපරපුරට රැකදීම වගකිවයුත්තන්ගේ වගකීම යි.

Location name: 

මඩුගල්ලේ වලව්ව