චීනය ලොව බලවත්ම රට බවට පත්වෙමින් සිටින්නේ දේශීය සම්පතින්, දේශීය දැනුමින් සහ මානව සම්පතෙන් උපරිම ප්‍රයෝජනය උකහා ගනිමිනි. රටක් වශයෙන් ඔවුන් ලොකයේ ඉහළින්ම වැජඹෙමින් සිටිනුයේ තම රටේ සම්පත් ආරක්ෂා කරගනිමින් වැඩිදියුණු කරගනිමින් කටයුතු කරමින් සිටින හෙයිනි. ඉතා සුන්දර රාජ්‍යයක් වන චීනය සිය සුන්දර පරිසරය ලොව පුරා වූ සංචාරකයන්ගේ ගමනාන්තයක් බවට පත් කරලීමට උපරිම වෙහෙසක් දරමින් සිටියි. එහි එක් සුන්දර සහ ආකර්ශණීය අවස්ථාවක් පසුගිය වසරේ උදා විය. ඒ ලොව උසින්ම පිහිටි වීදුරු පාලම ලොවට දායාද කරමිනි.

ෂැංග්ජියාජි වීදුරු පාලම ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති මෙම අපූරු වීදුරු පාලම පිහිටා ඇත්තේ හුනාන් ප්‍රාන්තයේ ෂැංග්ජියාජි ජාතික වනෝද්‍යානයේ පිහිටි කදුමුදුන් දෙකක් සම්බන්ධ කරමිනි. මීටර 430 ක් දිගින් වන මෙම ලොව ප්‍රථම වීදුරු එල්ලෙන පාලමේ පළල මීටර 6 කි. පොළොවේ සිට එය මීටර 260 ක් උසින් පිහිටා ඇත.

2016 අගෝස්තු 20 වැනිදා විවෘත කළ මෙම වීදුරු පාලම ඊශ්‍රායල් ගෘහනිර්මාණ ශිල්පී හයීම් ඩෝටන්ගේ නිර්මාණයකි. ඉතා ශක්තිමත් කේබල් මත රඳවමින් නිර්මාණය කර ඇති මෙම පාලම ආරම්භයේ දී ලීවලින් නිර්මාණය කෙරුණු අතර ඉන්පසු ක්‍රම ක්‍රමයෙන් එම ලී පාලම මත රැඳෙමින් වීදුරු සවිකරනු ලැබීය. මෙම වීදුරු පාලම නිර්මාණය කිරීමට ඉංජිනේරුවන් 11 දෙනෙකු දිනකට පැය 12 ක් මෙම ඉතා අසීරු සහ භයංකර ඉංජිනේරු කාර්යයේ යෙදුණහ.

පහළ ගැඹුරු ආගාධය පෙනෙන මෙම වීදුරුව සාමාන්‍ය ජනේලයක වීදුරුවට වඩා 25 ගුණයකින් ශක්තිමත් ය. එකවර 800 දෙනෙකුට රැඳීය හැකි මෙම පාලමේ දිනකට නැරඹිය හැකි ප්‍රමාණය 8000 සීමා කිරීමට චීන බලධාරීහු කටයුතු කර තිබේ.

කෙසේ වෙතත් මෙම පාලම විවෘත කිරීමට පෙර එහි ශක්තිමත්භාවය ජනතාවටම මැන බැලීම සඳහා අවස්ථාව උදාකර දීමට චීන බලධාරිහූ කි‍්‍රයා කළේ මෙම පාලමේ පිහිටීම අනුව එහි පය තැබීමට තබා අසලටවත් යාමට ජනතාව බිය වේ යැයි සිතූ නිසාවෙනි. ඒ අනුව තෝරාගත් පිරිසකට සහ මාධ්‍යවේදීන්ට එහි ශක්තිමත්භාවය මැන බැලීමේ අවස්ථාව උදා වූයේ පාලම මතින් කාර් රථයක් ධාවනය කරවීම සහ ශක්තිමත් මිටියකින් වීදුරුවට පහරදීමට අවස්ථාව උදාකරලමිනි. එම පරීක්ෂණයන්ගෙන් මෙම පාලම සමත් වූ අතර 2016 අගෝස්තු මස 20 වැනිදා එය ජනතාවට විවෘත කරනු ලැබුවේ ය. ගොඩනැගීම ආරම්භයේ සිටම ලොව අවධානය යොමු වූ මෙම ලොව උසින්ම පිහිටි වීදුරු පාලම නැරඹීම සඳහා දස දහස් ගණන් ජනතාව එක් වූ අතර ගැහෙන දෙපයින් යුතු බොහෝ දෙනෙක් අනෙක් අයගේ ශරීරවල එල්ලී මෙම පාලමෙන් ගමන් කරනු දක්නට ලැබුණු අතර මෙම අපූරු පාලම මත සිට සෙල්ෆි ඡායාරූපයක් හෝ සමූහ ඡායාරූපයක් (ගෘෆියක්) ගැනීමට එහි පැමිණෙන්නෝ අමතක නොකළහ.

එපමණක් නොව විලාසිතා ප්‍රදර්ශන, විවාහ ඡායාරූප ගැනීමට ද මෙම වීදුරු පාලම අද යොදා ගනිමින් තිබේ.

පාලම විවෘත කර දෙසතියක් ඉක්මවද්දී දිනෙක පාලම ඉරිතලා ගොස් ඇති අයුරු එහි පැමිණ සිටි සංචාරකයින් නිරීක්ෂණය කළේ එහි සිටි අනෙක් සංචාරකයින් ත්‍රාසයට සහ භීතියට පත් කරලමිනි. මෙම ආරංචියක් සමගින් පැමිණ සිටි සංචාරකයින් දිවි ගලවා ගැනීම සඳහා ගොඩබිම වෙත දිවගියේ සිය අතැතිව තිබූ බඩු බාහිරාදිය පවා විසි කරමිනි. සංචාරකයින් භීතිය සිය ගණනකින් ඉහළ යාමට තවත් හේතුවක් වූයේ මෙම කලබල අවස්ථාවේ සංචාරකයකු අතේ තිබූ වානේ කෝප්පයක් වීදුරු මතට වැටීමෙන් ඇති වූ ශබ්දය නිසාවෙනි. කෙසේ වෙතත් වහා පාලම වසා දැමුණු අතර ඉරිතලා ගිය ස්ථාන වහා බලධාරින්ගේ නිරීක්ෂණයට ලක් විය. මෙම ඉරිතැලීම ප්‍රසිද්ධිය පත් නොකොට බලධාරීන් පාලම වසා දැමුවේ වහා කළ යුතු තවත් සංවර්ධන කටයුතු කිහිපයක් ඉදිරියට දමමිනි. ඒ අනුව වාහන නැවතුමක්, ටිකට් මිලදී ගැනීමේ ක්‍රමවේදය සහ පාරිභෝගික සේවා යන අංශ තවදුරටත් නවීකරණය කරමින් නැවත වරක් මෙම අපූරු පාලම 2016 සැප්තැම්බර් මස 30 වැනිදා මහජනතාවට විවෘත කරනු ලැබීය.

ඩොලර් මිලියන 3.4 ක වියදමින් තැනුණු මෙම පාලමේ සංකල්පය ඇති වී තිබෙන්නේ මෙම ප්‍රදේශය ‘ඇවටර්’ චිත්‍රපටය සඳහා යොදාගැනීමෙන් පසුව ය.

පී.කේ. බණ්ඩාර

 

Location name: 

සංචාරකයන්ගේ සිත් ගත් වීදුරු පාලම