කිරලෙක් මහ හයියෙන් කෑ ගහගෙන ඉගිළිලා ගියා. ඌ කෑ ගහගෙන ගිහින් තත්පර ගාණක් යද්දි කිරලන් දෙතුන් දෙනා ඌට එකතු වෙලා කෑ ගහන්න ගත්තා. මම හිතන්නේ උන් දැනගත්තා කවුරුන් හෝ තමන්ගේ වාස භවනට ඇතුල් වුණා කියලා. හැබැයි අපිට ටිකක් වෙලා යද්දි තමයි තේරුණේ උන් කෑ ගහනව නෙවෙයි තමන්ගේ නිවහනට පැමිණි අමුත්තන් පිළිගන්න, උන්ගේ ප්‍රීතිය පෙන්වනවා කියලා. ඇත්තටම පුදුමාකාර මිහිරිවත් බවක් ඒ හඩවල ගැබ්වෙලා තියෙන්නේ. වැඩි වෙලාවක් ගියේ නැහැ. විවිධාකාර කුරුල්ලෝ උන් එක්ක එකතු වෙලා නාද කරන්න පටන් ගත්තා. ගස් වැල්වල වැදී වැදී එන සුළගත් එක්ක එකතු වුණ ඒ නාදයන් මිහිරි සංගීත සාජ්ජ්යක් වුණා. පෙර දින ඇද හැළුණු වැස්සෙන් තෙත බරිත වුණ පොළොවෙ පරිස්සමින් අඩිය තියමින් නේක විධ ගස් වැල් හා මල්වලින් පිරුණු පාර දිගේ ටිකෙන් ටික ඉදිරියට අපි ඇවිදගෙන ගියෙමු. එක් පැත්තක ගස් වැල් වගේම අනෙක් පැත්තෙන් දොළ පාරක්. ඒ දොළ පාර හැදිලා තියෙන්නේ නිල්වලා නදියේ අතු ගංඟාවකින්. ඕලු නෙලුම් මානෙල් වගේම අපි කවදාවක් නොදැකපු මල්වලින් අතු ගංඟාව හැඩ වෙලා.

මාතර නගරයේ ඉදලා කිලෝමීටර් දෙක හමාරක් පමණ කඹුරුපිටියට හා අකුරුස්ස දෙසට ගමන් කරද්දි එම මාර්ග දෙකට මැදිවයි කිරල කැලේ අභය භූමිය පිහිටා තියෙන්නේ.මාතර දිස්ත්‍රික්කයේ තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හෙක්ටයාර් 310 ක් පුරා මෙම භූමිය පිහිටා තිබෙනවා.

2013 වසරේදී අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් කිරල කැලේ ප්‍රදේශය අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කරලා එහි පාලනය වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව යටතට පත් කරලයි තිබෙන්නේ. කරදිය හා මිරිදිය මිශ්‍ර තෙත්බිම් පරිසර පද්ධතියක් වන කිරල කැලේ ශාක හා සත්ත්ව විශේෂ ගණනාවක් දැකගත හැකියි. ලෝක සංරක්ෂණ සංගමය විසින් කරන ලද අධ්‍යනයකට අනුව ශාක විශේෂ 25ක් සහ ක්ෂිරපායි විශේෂ 13 ක් සොයා ගෙන තිබෙනවා. විශේෂයෙන් ම ජලජ පක්ෂීන් ආකර්ෂණය වන ස්ථානයක් ලෙස මෙම අභය භූමිය හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම පක්ෂින් විශේෂ 103 ක් මෙහි දැකගත හැකිය. ඉන් 48 ක්ම තෙත්බිම් ආශ්‍රිතව වෙසෙන පක්ෂීන් වීමයි මෙහි ඇති විශේෂත්වය. එළ කඩොල්, කඩොල්, කැරන් කොකු, කොකු කටු ඉකිලි, හීන් කඩොල් ශාක වර්ග වගේම සමනළයින්, මත්සයන්, සර්පයන්, උරගයන්, උභය ජීවීන් රැසක් මෙහි දී දැකගත හැකියි. හොරාවකට වඩා කාලයක් අපි මෙහි ගත කළෙමු. හොරාවක් නෙවෙයි දවසක් වුණත් නිදහසේ ගත කරන්න පුළුවන් පරිසරයක් කිරල කැලේ අභය භූමිය පුරා පැතිරිලා තිබෙනවා. නගරයක් ආසන්නයේ පිහිටා තිබුණත් ඒ නාගරීකරණය ට හසු නොවී නිදහසේ කාලය ගත කරන්න නම් කියාපු තැන කිරල කැලේ . ඔබ මෙතෙක් දවසක් නොගිය නම් විවේකයක් ලැබුණු ගමන් ඒ විවේකය නිදහසේ ගත කරන්න කිරල කැලේ ගිහින් එන්න කියලා ඉල්ලා සිටිනවා.

නුවන් කොඩිකාර

ඡායාරූප-නිශ්ශංක විජේරත්න

Location name: 

කිරල්ලු හඬන කිරල කැලේ