ජනශ්‍රැති, ජනප්‍රවාද හා ප්‍රාදේශීය භාෂා විසින් තමයි අපේ සංස්කෘතිය ලස්සන කරන්නේ, හැඩ කරන්නේ. ගෙදරින් එළියට බහින අපේ ගැමියා හූනෙක් දෙපාරක් චික් චික් ගෑවොත් මඳක් නැවතී හිඳ තමයි යළිත් ගමන ආරම්භ කරන්නේ. යක්ෂ නාග ගෝත්‍රිකයන්ගෙන් පැවත එන අපගේ ජනවිඥානය ඇතුළත තිබෙන ඒ ස්වදේශීකත්වය අමතක කරලීම පහසු නැහැ. නවකතාකරුවන්, කෙටිකතාකරුවන් වගේම කවියන් පවා බොහෝ විට ජනශ්‍රැතියෙන්, ජන විඥානයෙන් පෝෂණය ලැබූ බව ඔවුන්ගේ නිර්මාණ පරිශීලනය කරනවා නම් අරුම දෙයක් නොවේ. නිර්මාණ වලට වස්තුබීජය වන්නේ ජන හදවතේ ලැඟුම්ගත් දේයි. එවිට ඒ නිර්මාණ අපේ ජීවිතයේ අංග බවට පත්වන්නට පටන් ගන්නවා. විමලරත්න කුමාරගම අපේ හදවත කියැවූ කවියා සංහිඳ පාමූල අයියනායක දෙවියන් වෙනුවෙන් පහනක් පත්තුකර, ගසක අත්තක් එල්ලා කැලයට යන ගැමියන් ගැන කවි පබඳින්නේ ඒ නිසයි.

මා අද ඔබට නිවාඩුපාඩුවේ යන්නට ආරාධනා කරන මේ සුන්දර ගමත් විශේෂිත වන්නේ ජනශ්‍රැතිය, ජන විඥානය නිසයි. නාගරීකරණයත්, විවෘත ආර්ථිකයේ සපැමිණීමත් හේතුවෙන් ජනාකීර්ණ වූ අපේ ගම්වලට වඩා මේ ගම බොහොම වෙනස්. තවමත් සිය අනන්‍යතාව, පෞඩත්වය රැක ගන්නට ඔවුන් සමත් වී සිටිනවා. මේ ගම පිහිටලා තිබෙන්නේ නුවරගල දිසාවට වන්නටයි. යක්ෂ පරම්පරාවේ අවසන් පුරුක් වශයෙන් තමයි මේ ගමේ ජනතාව හඳුන්වන්නේ.

“යක්කුරේ’ කියූ පමණින් ඔබ අසා ඇති, එහෙත් වැඩි දෙනෙක් ගිහිල්ලා නම් නැතිව ඇති. අදටත් ස්වභාව සෞන්දර්යය විනාශ නොවුණු, අපේ විඥානය, හැඩ ගැස්ම හා ස්වාභාවිකත්වයට ඇති ඇල්ම අඩු නොවුණු ගමක් විදිහට යක්කුරේ හැඳින්වුවොත් ඔබ එකඟවෙවි නිසැකයෙන්ම. සංක්‍රමණිකයන් එක්ක මුල්ගම් බිම් අතහැර ආවත් යක්කුරේ මුල්ගම තිබෙන්නේ ගගෙන් එගොඩ, ඒ කියන්නේ යක්කුරේ දූපතේ මහවැලි ගඟ මැද අක්කර 54 ක පමණ භූමි භාගයක තමයි යක්කුරේ දූපත පිහිටා තිබෙන්නේ. දැනට යක්කුරේ කියලා ජනාවාස වී තිබෙන ගමේ ඉඳන් ඇත්ත යක්කුරේ කරා යන්න නම් කිලෝමීටර් 8ක් විතර ගඟේ බැහැලා ගඟ දිගේ යන්න ඕන. යක්කුරේ දූපතට යන්නට තිබෙන එකම මාර්ගය ගඟ දිගේ යෑම පමණයි. ගඟ දිගේ යෑම පහසු නැහැ. ජීවිත අවධානම් සහිතයි. මේ ගඟේ කිඹුලන් සිටින බවත්, තැනින් තැන වළවල් තිබෙන බවත් ගම්වාසීන් පවසනවා. ඒත් කුතුහලය ඇවිස්සුණාට පසුව මේ කිසිම දෙයක් පේන්නෙ නැතිව යනවානේ. ඉතින් යක්කුරේ දූපතට යන එකත් සිතින් අයින් කරගන්න අපට බැරිවුණා. අවධානම නොතකාම අපි පැරැණි යක්කුරේ බලන්නට යෑමට ගඟ දිගේ පිටත් වුණා.

ඔබට සිතා ගැන්මටවත් නොහැකි වේවි, යක්කුරේ දූපතේ සුන්දරත්වය ගැන. එය මට අකුරු කළ හැකි සීමාවෙන් ඔබ්බට තිබෙන සුන්දරත්වයක්. බොහෝ සුන්දර දේ හදවතට දැනෙන දේ මිසක් අකුරු කළ හැකි ඒවා නොවන බව ඔබ දන්නවා. යක්කුරය දූපතත් එහෙමයි. එය මේ ලෝකයේ අතිමහත් වූ දෙයින් වෙන් වූ ලෝකයක්. එයට මෙහි ඇති අනේක අප්‍රමාණ දේ ගෝචර නැහැ. අප්‍රමාණ සොබාදම් නාදාවලි, මහ පොළොවේ මිමිණීම්, ගස් වැල් එකිනෙකා හා කතා කරන දේ මුමුණාන දේ හැරෙන්නට වෙත මොනවත් ම එහි නැහැ. සොබාදහමේ අනේකවිධ පැවැත්ම ම පමණයි එහි තිබෙන්නේ.

මුළු දූපත ම රූස්ස ගස් වලින් ආවරණය වෙලා, වෙනම ලෝකයක්, අද්භූත ලෝකයක් අපට මවනවා. මා පෙර කී නාදාවලි හැරෙන්නට එහි වෙනත් කිසිදු නාදයක් නැහැ. කැලයට ම ඔබින කැලයේම කොටසක් වන අලි ඇතුන් මෙහි සුලබයි. එතරම් රූස්ස කැලයකට අලි එක්කරන චමත්කාරය අනන්තයි. අප්‍රමාණයි. උන් උන්ගේ පාඩුවේ කැලයේ සරන්නේ උන්ගේ ලෝකයට වෙන කිසිවකුත් බාධා නොකරන බව දන්නා නිසායි. අලි ඇතුන්ට බයේ ගම්වාසීන් වුණත් මේ දූපතට එන්නේ හදිසි ම දේකට පමණයි. මිනිස් හැසිරීම් මේ සද්දන්තයන්ට බලපෑමක් වූ අවස්ථා කිහිපයක් ගැන පරිසරවේදීන් අදහස් දක්වනවා. ඒ කැලෑව එළිකිරිමට, නීති විරෝධි ක්‍රියාවලට කැලයට යන එන කඩාකප්පල්කාරීන්ගෙන් ද වන හානියයි. කැලෑ පාළුවන්ගෙන්, සොබා දහමට වින කටින්නන්ගෙන් මේ අපුර්ව කැලය ආරක්ෂා කරගැනීමට සටන් කළ යුතුව තිබෙනවා. මේ වනවිට අපේ වනගහනය සීඝ්‍රයෙන් අඩු වී යමින් තිබෙනවා. එ නිසාම කැලය රැක ගැන්ම අපේ වගකීමක්. පැරැණි ජනතාව යක්කුරේ දූපත හැරගියේ කාලිංග මාඝ ආක්‍රමණයත් සමඟින් ලු. ජනප්‍රවාදයේ සඳහන් වන්නේ ඒ ආකාරයට. යක්ෂ පරම්පාරවේ අවසාන පුරුක් අදත් යක්කුරේ ගමේ වාසය කරන්නේ ඒ ඉතිහාසය පපුවේ තදකරන්.

යක්කුරේ දූපතේ ඉදන් ගම්මානය දිහා බැලුවහම පුදුමාකාර සුන්දරත්වයකින් හාත්පස පරිසරය ම වෙළී තිබෙන්නේ වෙනත් ලෝකයක් ලෙසටයි. ගඟේ වතුර ටිකක් අඩු කාලේ ගිය නිසාදෝ අපට ගඟෙන් එගොඩ වන්නට අපහසු වුණේ නැහැ. ගඟ මැදින් පිහිටා තිබුණු ගල්තලාවේ මම ඉඳගත්තේ පරිසරයේ සුන්දර බව දරාගන්නටම බැරිව. අපේ නඩේ අය කිඹුලන් ගැන මතක් කළ නිසාම හිතට බයක් ආවත් ගල්තලාවේ ඉඳන් බලද්දී දැනෙන ඇඟ හිරිවට්ටන හැඟීමෙන් මිදෙන්නට බැරිව මම මොහොතක් ඒ මතම හිටියා. මිහිදුම් සළු එකින් එක ලිහෙමින් සොබාදහමේ නෙක රටා මැවෙන්නට වුණා. භාවනාව යනු සිත එක්තැන් කරගැනීම නම් ඒ හැඟීම දැනෙන්නට පටන් ගත්තා. හිරු සැඟවී යන්නට අර අදිද්දී අපි නැවත ගම්මානය කරා පිය මැන්නා.

පැපොල් පළුවකට වත් කළ කළුතෙල් අතරින් පත්තු වූණු පහනක් ගමේ එහා කොනින් දිළෙමින් තිබුණා.

සුමුදු චතුරාණී ජයවර්ධන

ඡායාරූප-නිශ්ශංක විජේරත්න

Location name: 

යක්කුරය කියන්නේ දිව්‍ය ලෝකයෙන් කොටසක්....