සිල් සුවඳ දසත හමා යයි. බුදුන් පුදට ඇති නේක විද පුෂ්පයන් හරහා හමා ආ සුළඟ නාස් පුඩු අවධි කරවයි. මේ පින් බිම දාන, සිල, භාවනා, කර්මයන්ට කියාපු බිමකි. මේ විහාරස්ථානය මාතර, අකුරුස්ස මහා මාර්ගය හා දක්ෂිණ අධිවේගි මාර්ගයට සමීපව හිත්තැටිය ග්‍රාමයේ පිහිටා ඇත.

මෙම පුණ්‍ය භුමියේ ආරම්භය කවදා දැයි හරි හැටි නිශ්චය කළ නොහැකිය. ඒත්, මෙහි ඇති බෝධින් වහන්සේ, වසර 1000කට පමණ ඉපැරැණි ඉතිහාස කථාවක් ලියා තබන්නේය. ඒ බවට එහි ඇති ලිපි ලේඛන සාක්ෂි දරයි. 18 වැනි ශත වර්ෂයේ මැද භාගයේ පැවත එන ඉතිහාසයක් ගැන මෙහි සටහන් තැබිය හැකිය. වැලිවිට සරණංකර හිමිගේ ආගමික පුණරුදයක් සමඟ වෙහෙර විහාරස්ථාන විශාල සංඛ්‍යාවක් ඇති විය. සරණංකර හිමිගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්ස නමක් වූ ඉන්ද්‍රසාර හිමියෝ උපසම්දාව ලැබිමත් පසු මෙම විහාර බිමේ චිරස්ථිතය උදෙසා කටයුතු කළහ.

දැනට පවතින බුද්ධ මන්දිරය ක්‍රි.ව. 1760 දී පමණ ගොඩනගා ඇත. මීට පෙර තිබු බුද්ධ මන්දිරය. බෝධි වෘක්ෂයට සමීපයෙන් ගොඩනගා තිබු බව කියැවේ. නිල්වලා ගඟ පිටාර ගැලිමෙන් බුද්ධමන්දිරය විනාශ වූ බවට ලේඛන වල සඳහන් වේ. විනාශ වූ බුදුමැදුරේ තිබු වැඩ සිටින බුදු පිළිමය දැනට, වර්තමානයේ ඇති බුද්ධ මන්දිරයේ සැතපෙන පිළිම වහන්සේ ඉදිරිපිට හිදුවා ඇත. වර්තමානයේ දක්නට ලැබෙන සැතපෙන පිළිම වහන්සේ දිගින් රියන් 18 කි. දෙපසින් සැරියුත් මුගලන් හිමිවරුන්ගේ පිළිම ද නෙළා ඇත. බුද්ධ මන්දිරය වටා සුවිසි බුදුවරුන්ගේ පිළිමද දක්නට ලැබේ.

නුවර යුගයට නෑකම් කියන සිතුවම් බුද්ධ මන්දිරය හා පුජාබිම පුරාම ඇති ගොඩනැගිලි දක්නට ලැබේ. ලියමල්කැටයම් වලින් ද අලංකෘත යි. මහනුවර යුගයේ කැටයම් කලාව මෙහි ඇති ධර්මශාලාව ආවාසගෙය, බුද්ධ මන්දිරය, ඇතුළු තොරණේ දක්නට ලැබේ. බුද්ධ මන්දිරය ඉහළ බිත්තිවල රහතුන් වහන්සේලාගේ රුව සිතුවම් කර ඇත. සිවිලිමේ නෙළුම් මල් රූප සිතුවම් කර ඇත. 1845 ඇතුළු මාලය සායම් කර නේත්‍රා පිංකමක් කර ඇති බව ලිපි ලේඛනවල මෙන්ම වර්තමාන විහාරධිපති හිමියෝ ද පවසති.

විෂ්ණු හා කතරගම යනුවෙන් දේවාල දෙකකි. එකල මුර්ති ශිල්පියා ගේ දක්ෂතාවයන් මනා ලෙස මේ දේව රූපයන් මඟින් ඉස්මතු වේ. සිමාමාලයේ චිත්‍ර සිතුවම් දුර්වර්ණ වී තිබිමෙන් ක්‍රි.ව. 1862 දී අලුතින් චිත්‍ර සිතුවම් කර තිබේ. මෙහි ඇති චෛත්‍ය ගොඩනඟා ඇති කාල සීමාව සඳහන් කිරීමට නොහැකිය. එකල ගංගා රෝහණ පින්කම සංවිධාන කළ සරම් සිරිවර්ධන මුදලිතුමා මෙම විහාරස්ථානයේ ප්‍රධාන දායකයකු බවත් ඔහු විශාල පරිත්‍යාගයක් කළ බවත් කියැවේ. විවිධ පුරාවිද්‍යා ගවේෂකයන්ගේ සටහන්වලද කියැවෙන්නේ මෙම චෛත්‍ය 19 වැනි සියවසේ මුල් භාගයට නෑකම් කියන බවයි. මෙම චෛත්‍ය මලුවේ පහන් දැල්වීමට විශේෂ කවුළු විශේෂයක් තනවා ඇත. එය සුවිශේෂී ලක්ෂණයක් ලෙස ද පෙන්වා දිය හැක. මකර තොරණට සමීපව පෞඩත්වය කියපාන ගණි්ඨා කුලුණකි. මලුවට පහන් වැටකි.

ධර්මශාලාව ඇතුළත විවිධ කලා ශිල්ප පෙන්වන පිරිත් මණ්ඩපයකි. ධම්මපදට්ඨ කතාවේ කියැවෙන නව චන්ද්‍ර දාහය මෙම පින්බිමේ පිරිනමන සුවිශේෂී දානයකි. එය ඉටකරනු ලබන්නේ නව සඳ බැලීමෙන් පසුව ය. මෙම නව සඳ බැලීම පුරාතනය සිට මෙම පුණ්‍ය භුමිය සිදුකරන බව කියැවේ. එවන් පුණ්‍ය භුමියක් වැද පුදාගැනීම පින්කැමති ඔබට හොඳම අවස්ථාවකි.

සටහන හා ඡායාරූප - නිශ්ශංක විජේරත්න

Location name: 
sub title : 
හෙළ කලාවෙන් පෝෂණය ලැබූ හිත්තැටිය රජ මහා විහාරය

හෙළ කලාවෙන් පෝෂණය ලැබූ හිත්තැටිය රජ මහා විහාරය