වේලාව දහවල් 12.00ට ආසන්න ය. මාතර නගර මධ්‍යයට වැටෙනා අව් කූටකෙන් ගත පමණක් නොව හිත ද කැළැඹීමට පත් කරන්නේ යැයි සිතේ. මධ්‍යම බස් නැවතුම් පොළට මුහුණලා කතරගම දෙසට, මහා මාර්ගයට සමගාමීව මහ මුහුදේ රළ ඝෝෂා නැගෙයි. මුහුද දෙසට වන්නට පිහිටා ඇති උපෝසතාරාමය ද පිස එන මුහුදු සුළඟ ගතේ දැවටෙයි. මාතර නගරයට පැමිණෙන ප්‍රදේශවාසීන් ට පමණක් නොව සංචාරකයන් ට ද ස්වභාවික ඉසිඹුහලක් නෙත ගැටේ. මෙහි හිසට ආවරණයක් නැත. නමුත් නැත්තේම නැත. පෙළින් පෙළට සිටුවා ඇති රූස්ස ගස් ආවරණයන් කොන්ක්‍රීට් බංකු මත හිඳ මුහුද දෙසට මුහුණලා පෙම්බස් දොඩනා පෙම්වත්තු ද රැසකි.

මුහුදටත් මහ මාර්ගයටත් අතර මැදිව ඇති නිස්කලංයක බිම් තීරය වෙරළ උදානයයි. උද්‍යානයක නම් ගස් වැල් මල් හා සතුන් ද සිටිය යුතුය. නමුත් මෙය ද උද්‍යානයකි. ගස් වැල් හා තෘණ පලසක් සහිත මේ බිම් තීරුවත් ඕනෑම අයෙකුට සෙවන සලසා දෙයි.

බොහෝ දුර බැහැර ප්‍රදේශ ගෙවා පැමිණි අය පවා මෙහි මඳක් විවේක සුවයෙන් කල් ගෙවති. මුදලක් අය නොකෙරෙන මෙකී ස්ථානය ඕනෑම අයෙකුට විවේක ගන්නට හැකිය.

මෙහි ඇති බංකු මත බොහෝ අය හිඳ සිටිති. ඇතැමුන් තවකෙකු අපේක්ෂාවෙන් පසුවෙති . ඇතමුන් කාලය කා දමන්නටත් මේ ස්ථානයට පැමිණෙති. භාවිතා කරති. පසෙකින් ඇති උපෝසතාරාමය වෙත පැමිණෙන අය ද මෙහි මඳක් විවෙක ගනිති.

එපමණක් ද නොවේ. විවිධ පන්නයේ වෙළෙන්දෝ ද මෙහි නිතර දෙවේලේ ගැවසෙති. කිසිවෙකු වෙත භාණ්ඩයක් හෝ සේවාවක් සපයා යමක් හරි හම්බ කර ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව යි. කෙසේ වෙතත් දැවැන්ත නගරයක් මධ්‍යයේ මහ මුහුදක් ආසන්නයෙන් මෙවන් විවේක ස්ථානයක් නැතහොත් උද්‍යානයක් පැවැතීම මිල කළ නොහැකි වටිනා දෙයකි.

වෙරළක් අද්දර, වෙරළට ආසන්නයේ ඇති උද්‍යානය යන අරුතින් මෙකී ස්ථානය හැඳින්වීමට කවුරුත් “වෙරළ උද්‍යානය” වශයෙන් භාවිතා කරති.

දැඩි හිරු රශ්මියෙන් ද නොයෙක් ආර්ථික හා සමාජ වටාපිටවෙන් ලද ගැහැටින් විඩාබර වන අය සොයා යන්නේ මෙවන් ස්ථානයන් ය. එසේ වූ විට ‘හුදෙකලාව‘ ඔවුන් පතනා එකම අරමුණයි. හුදෙකලාව සිට කිසිවෙකුගේ බාධාවකින් තොරව මහ මුහුද දෙසින් හමා එන මන්ද මාරුතයෙන් ගත අවධි කොට කල්පනා ලෝකයක නිමග්නව හිදීම තරම් වටිනා දෙයක් එවිට තවත් නැතුව ඇති. එවන් විටකදී බොහෝ දෙනා හුදෙකලාව ද මෙහි පැමිණ හිතේ පමණක් නොව ගතේ ද පිඩාව සන්සිදුවා ගනිති.

එකිනෙකාට තුරුලුව පෙම්බස් මුමුණමින් මහ සයුර දෙස බලා සිටීමට පෙම්වත්තු ද වැඩි කැමැත්තක් දක්වති. එවන් අයට ද මෙය කදිම ස්ථානයකි.

තවද විවිධාකාරයේ ආයතන වලින් පැමිණෙන ලොකු කුඩා කණ්ඩායම්වලට ද මඳක් විවේකව ගත කරන්නට මේ ස්ථානය කදිම ය. මාතර නගරයට සේන්දු වන ඔබට මේ සරල වූ වෙරළ උද්‍යානය හමුවනු ඇත.

ඡායාරූප - නිශ්ශංක විජේරත්න

Location name: 
sub title : 
වෙරළ උද්‍යානය

වෙරළ උද්‍යානය