මාතර වෙහෙරහේන පුදබිම යනු ඉතා චිරාත් කාලයක් තිස්සේ පැවැත එන රමණීය වන්දනීය භූමි භාගයකි. අක්කර භාගයකින් හෙබි මේ බිම මුල් කාලයේ දී පැවැත ඇත්තේ ඝන වනාන්නතරයකින් වැසීගෙනය. මේ විහාරබිමේ අඩි තිස්පහකින් පමණ උසට විහිදී ගිය කඳු වැටියක් ද විය. මෙම ස්ථානයේ මිනිස් වාසයට අයෝග්‍ය අයුරින් පැවතුණු බවට තොරතුරු ඇත. එරමිනියා. වැටකෙයියා, වේවැල් ආදී කටු පදුරින් ද ගහනව පැවැතිණි. ඒ යුගයේ මිනිසුන් තලගොයින්මරා පුලුස්සා කෑ තැනක් ලෙස මෙය ප්‍රකටව තිබුණි. එවන් ඝන කැලෑවන් එළිපෙහෙලිකර පසුව අසූඅට (88) රියන් බුද්ධ ප්‍රතිමාවක් තැනීමට භූමිය පිළියෙල කරන ලදී.

කුඩා ආවාසගෙයක් තනා එයට ස්වාමීන් වහන්සේ නමක් වැඩමවීමට ගමේ දායක පිරිසගේ අපේක්ෂාව විය. ඒ පින්වතුන් අතර ඌරලා හාමු, ඩැනී හාමු, ලියන හාමු යන තිදෙනා ප්‍රධාන වූහ. බැදිගම නාහිමියන් මහා මන්තීන් ද පිරිවෙනෙහෙයි සිට මෙහි වැඩම කළහ. කොට්ටයක් පැදුරක් හා ඇතිරිල්ලක් පමණක් රැගෙන මෙහි වැඩම කළ හිමියන් මෙහි තිබූ කුඩා ආවාස ගෙයට වැඩම කිරීමත් සමඟම මේ භූමිය ශාන්ත සුන්දර දම්සුව වෑහෙන පුදබිමක් බවට පත් විය.

එබඳු ඓතිහාසික ඉපැරැණි පසුබිමක ඉදි වූ වෙහෙරහේන, සිරිලක පුරා නම් දැරූ බුද්ධ මන්දිරයකට හිමිකම් කියනු ඇත. එවක මෙහි වැඩ නිම කිරීමට රුපියල් ලක්ෂයක් පමණ වැය වී ඇතැයි පැවසේ. මෙයට අවුරුදු දෙදහකට පමණ ප්‍රථමයෙනි මෙහි මහරහතුන් වැඩසිටි බවට ඉඟි ඇත. වෙහෙරහේනට නුදුරින් ම පිහිටි ග්‍රාමය ද ‘ගනේහේන’ ලෙස හැඳින්වේ. කවියන්ගේත්, කලාකරුවන්ගේත්, සාහිත්‍යකරුවන්ගේත් දෙනෙත මානයට මනරම් බොදු හැඟුම් ජනිත කරන වෙහෙරහේන විහාරය පිළිබඳ ලියැවුණු නිර්මාණ බොහෝ ය.

මාතර නගරයේ සිට කී.මී. 05ක් පමණ ඈතින් පිහිටා ඇත. පුරාණ වෙහෙරකි. ක්‍රි.ව. 1930 දී පමණ ආරම්භ කර ඇත. මේ විහාරය මෙතරම් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ එහි ඇති 88 රියන් බුදුරුව හා බිංගෙය නිසායි. බුද්ධ චරිතයේ එන සියලුම සිද්ධීන් හා ජාතක කතා චිත්‍රයට නඟා ඇත. මහනුවර යුගයේ චිත්‍රවලට වඩා ද්විමාන ස්වරූපයෙන් නිර්මාණය කර ඇත. වන්දනාකරුවන්ගේ පහසුව තකා විශ්‍රාම ශාලා ද ගොඩනගා ඇත. බුදු පිළිමය පිහිටි මලුවේම නුදුරින් චෛත්‍ය හා බෝධිය ද ඉදිකර ඇත.

ඉඩකඩ සහිතව ඉදිකරන ලද ධර්මශාලා මෙහි ඉතා වැදගත් අංගයකි.

මවුපියන් නොමැති අසරණ, අනාථ දරුවන් වෙනුවෙන් 1996 වසරේ දී ළමා ගම්මානයක් පිහිටුවා එයට දරුවන් ඇතුළත් කරගෙන තිබීම විශේෂය.

අහංගම ප්‍රදේශයේ ගැහැනු ළමයින් සඳහා ඉදිකළ ගම්මානය 2009 වසරේ අරඹා ඇත. ශිෂ්‍යත්ව පිරිනැමීමත්, නොමිලයේ පොතපත බෙදාදීමත් මෙහි ඇති සමාජසේවා කටයුතු අතර ප්‍රධාන වේ. සිරි රේවත දහම් පාසල විශාල ප්‍රමාණයෙන් පවත්වාගෙන යමින් ප්‍රදේශයේ දූ දරුවන්ට දහම් දැනුම ලබා දීම ද අගනා පුණ්‍යකර්මයක් වේ. දරු දැරියන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ඉමහත් සේවයක් සැලසීමට මඟ පාදා දී ඇත.

ළදරු පැසල් දෙකක් ද මේ විහාරස්ථානය ආශි‍්‍රතව පවත්වාගෙන යාම ඉතාමත් ම වැඩදායකය. රුහුණු උඳුවප් හා ඉල්මහ පෙරහරවල් ඉතා උත්කර්ෂවත් අයුරින් සෑම වසරකම පැවැත්වෙන්නේ මාතර ජනතාවගේ සිත් සතන් ප්‍රමුදිත කරවමින්ය.

මෙකී නොකී තවත් බොහෝ සමාජසේවා කටයුතු රාශියක් විහාරස්ථ සංවර්ධන කටයුතු ආශ්‍රයෙන් තවදුරටත් සිදු වේ. අතීතයේ සහ කැළෑවෙන් වැසීගොස් නිසරුබිම් පෙතක්ව පැවැති පුදබිම වත්මනය වන විට ජනමත තුඩ තුඩ පිළිරැව් දෙන සුපසන් පූජනීය බිම් කඩකි. අක්කර ගණනාවක් පුරා විහිදී ගිය සුවිසල් පුද බිමකි. අතීතයේ විඳි දුක් කම්කටොළු සියල්ල මැදිහත් සිතින් විඳගනිමින් අහස්කුසට ඇදී තිබෙන 88 රියන් හිඳි පිළිමය කියාපන්නේ ඒ ආශ්චර්ය යි. ඒ අසිරිමත් බුද්ධ තේජස අදත් හෙටත් මතුවටත් මාතර අභිමානයේ අනුහස මුළු ලොවට කියාපානු ඇත.

නන්දි අලුත්ගේ රත්නවීර

ඡායාරූප - නිශ්ශංක විජේරත්න

වනපෙත එකලු කළ අසිරිමත් පුදබිම වෙහෙරහේන