පිහිටීම - මාතර නගරයේ ප්‍රධාන බස්නැවතුම්පළට පිටුපසින්, සනත් ජයසූරිය ක්‍රිකට් ක්‍රීඩාංගණයට යාබදව වූ කොටු පවුර අද්දර පිහිටයි.

මුහුදු ගමන් පහසු කිරීම සඳහා වරායවල් හා වෙනත් එවැනි වැදගත් ස්ථානයක් ආශි‍්‍රතව ප්‍රදීපාගාර ඉදිකලා සේම, බලකොටු හා ජනාකීර්ණ නගර කේන්ද්‍රගතව ඔරලෝසු කණු ඉදිකිරීම සිදු කර තිබේ. විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී සමයේදී මේ සඳහා වැඩි නැඹුරුතාවයක් දක්වා තිබේ.

ඒ අනුව ලාංකීය වෙළඳ ප්‍රජාවගේ ඉල්ලීම මතින් බ්‍රිතාන්‍ය ලන්දේසි බලකොටු මත ඔරලෝසු කණු ඉදිකිරීම ආරම්භ කර තිබේ. වෙළෙඳ නගර ප්‍රදේශයන්ගේ අධික ජනගහන ව්‍යාප්තිය නිසා ඔවුන් සඳහා වෙලාව දැනගැනීම සඳහාත් වෙලාවට වැඩ කිරීම හුරු කිරීම සඳහාත් මෙලෙස ඔරලෝසු කණු ස්ථාපිත කරන්නට ඇත. සමචතුරස්‍රාකාර ලෙසින් ඉහළ එස වුණ මාතර ඔරලෝසු කණුව මීටර් 12 ක් පමණ උස ය. යම් යම් මූලාශ්‍රයයන්ගේ මෙම ඔරලෝසු කණුවේ ආරම්භය ලන්දේසින් විසින් සිදු කළ බවක් ද දක්වයි.

කෙසේ වෙතත් මෙහි ඉදිකිරීම් ලක්ෂණ අනුව ඉංගී‍්‍රසි පාලන සමයේදී ඉදිකරන්නට ඇතැයි විශ්වාස කළ හැකිය. මෙම ඉදිකිරීමේ ආරම්භක කොටසේ එක් ඇතුල්වීමේ ආරුක්කු හැඩැති දොරටුවක් හා ඒ ආකාරයෙන්ම දිස්වන සේ අනෙක් තෙපසින් සකස් කරන ලද ආරුක්කු 3 ක හැඩයකින් සමන්විත ය. ඉන්පසු ආරම්භ වන කොටස පහලින් වූ කොටසට වඩා අඩු දිග පලළින් යුතුව එක්වරම ඉහළට එසවුණු හතරැස් කඳක් ලෙසින් දිස් වේ.

ඉන් පසුව එකතුකරන ලද කොටසේ මධ්‍යට වන්නට රෝම ඉලක්කම් යොදන ලද ඔරලෝසු 4 ක් දිසා 4 ට වන්නට සවි කර තිබේ. ඔරලෝසු වලට ඉහළින් නැවත ආරක්කු යොදන ලද අලංකාර කොටසක් ද ඉන් පසුව නැවත ගරාදි වැටක් වැනි කොටසක් ද සහිතව ඉදිකර තිබේ. කණුවේ මුළු හතර සැමවිටම පැන්නුම් දාරයකින් හා කට්ට පෙළකින් සරසා තිබේ.

ඈතට දිස්වන සේ සුදු පැහැති මෙම ඔරලෝසු කණුව මාතර බලකොටුවේ ඇතුළතට වන්නට ඉදිකිරීමෙන් පැහැදිලි වන්නේ මෙය ඉංගී‍්‍රසි ජාතිකයින් විසින්ම ඉදිකරන්නට ඇති කෙළවරකට මෙම හෝරා ස්ථම්භය යොදන්නට බොහෝ දුරට ඉඩ ඇත. කුමන ජාතිකයින් විසින් මෙම හෝරා ස්ථම්භය ඉදිකළ ද අද වන විට මෙය මාතර නගරයට, නගරයේ අනන්‍යතාවයට නැතිවම බැරි අංගයක් වී ඇත. පුරාවිද්‍යාත්මක ස්මාරකයන් ලෙසින් ද ප්‍රකාශයට පත්ව ඇති මේ සජීවී ස්මාරකය රැක ගැනීම ශ්‍රී ලාංකීය සැමගේ යුතු කමකි.

එච් එම්.සමන් කුමාර ඇරෑගම

පුරාවිද්‍යා පර්යේෂණ සහකාර (කැණීම්)

ඡායාරූප- නිශ්ශංක විජේරත්න

Location name: 

මාතරට වෙලාව කියන ඔරලෝසු කණුව