පිහිටීම - මාතර නගරයේ ප්‍රධාන බස් නැවතුම්පළට පිටුපසින්, සනත් ජයසූරිය ක්‍රිකට් ක්‍රීඩාංගණයට යාබඳව

මාතර ඕලන්ද කොටුව ශ්‍රී ලංකාවේ දකුණු කෙළවරේ තරමක් නිරිත දිගට දිශානුගතව මුහුද ආසන්නයේ සෑම පසකින්ම ඇතුළුවීමේ මං අහුරමින් ඉදිකරන ලද ආරක්ෂිත බලකොටුවකි. තෙවැනි අඩතැන්නේ ස්ථානගත වූ මාතර බලකොටුව අවසන් ඛාදන තලයට අයත් ය. යම් ස්ථානයක බලකොටුවක් ඉදිකරන්නේ නම් පළමුවෙන් සළකා බලන්නේ එම භූමියේ ස්වභාවික ආරක්ෂිත පිහිටීම ය. විශේෂයෙන්ම විදෙස් ජාතිකයින් විසින් මෙරට ආක්‍රමණය කරන ලද සෑම අවස්ථාකදී ම යුදමය වශයෙන් වැදගත් යැයි සැළකිය හැකි ස්ථානයන් ආශි‍්‍රතව ආරක්ෂිත බලකොටු ඉදිකර තිබේ. පෘතුගිසි, ලන්දේසි, ඉංගී‍්‍රසි, ලෙසින් පැමිණි බටහිර ජාතීන් විසින් මෙරට මුහුදු සීමාවේ හා රට අභ්‍යන්තර විවිධ ස්ථානයන්හි ආරක්ෂිත බලකොටුව ඉදිකර ඇත්තේ මෙරට ස්වදේශිකයින් විසින් භාවිතයට ගන්නා ලද ස්වභාවික ආරක්ෂිත ස්ථානයන්ගේ ය.

ප්‍රාකාර බැම්මකින් ද සීමා මායිම් යොදන ලද මාතර බලකොටුව අද වන විට පුරාවිද්‍යා ස්මාරකයකි. වැඩි වශයෙන්ම මෙම ඕලන්ද බලකොටුවේ ඉදිකිරිම් සඳහා ස්වභාවික භූ පිහිටීමෙන් ලබාගෙන ඇති වාසි සහගත දායකත්වය බොහෝ ය.

පෘතුගීසින්ගෙන් බලය ඩැහැගත් ලන්දේසින් විසින් වර්ෂ 1645 දී මාතර බලය ලබාගන්නා ලදී. ඉන්පසුව පෘතුගීසින් විසින් ඉදිකරන ලද මාතර කොටුව, වඩාත් පුළුල් හා නිර්මාණශීලි ශක්තිමත් පදනමකින් යුතු ගොඩනැඟීමක් බවට පත්කර ඇත්තේ ඔවුන් විසින් ය. ලන්දේසි ජාතික ආණ්ඩුකාරවරයෙක්ගේ අධීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙසින් මෙම ප්‍රදේශය ආශි‍්‍රතව බලකොටුව ඉදිකරන ලෙසින් වූ නියෝගයකට අනුව බලකොටුව ඉඳිව ඇත. ඒ වර්ෂ 1716 - 1723 අතර කාලයක දීය.

සෑම පසකින්ම ආරක්ෂිතව ඉඳිකරන ලද මාතර බලකොටුවේ පවුරු ප්‍රාකාර සියල්ලක් සඳහාම ඉදිකිරිම් අමුද්‍රව්‍ය ලෙසින් භාවිතයට ගෙන ඇත්තේ කළුගල් හුණුගල් හා කොරල් කොටස් ය.

කොටු පවුරේ ස්ථාන කීපයක ලන්දේසීන් විසින් කාලතුවක්කු රඳවා තිබු බවට සෘජු සාක්ෂි පවතී. සතුරු ආක්‍රමණයක් එල්ල විය හැකි දිසාවන් කේන්ද්‍ර කර මුර අට්ටාල යොදා ගනිමන් බලකොටුවට ස්ථිර ආරක්ෂණ පද්ධතියක් යෙදීමට ලන්දේසි ජාතිකයින් කටයුතු කර තිබේ. විශේෂයෙන්ම සිංහල හමුදා ප්‍රහාර හා වෙනත් විදේශීය ජාතීන්ගේ ආක්‍රමණශීලී ක්‍රියාවන්ට ප්‍රතිචාර දැක්වීමට මෙම කාලතුවක්කු සවි කිරීම සිදුකරන්නට ඇත. විශේෂයෙන්ම මෙරට ස්වදේශිකයන් විසින් විදෙස් කාලතුවක්කු අනුකරණය කරමින් මෙරට දී නිෂ්පාදනය කරන ලද කාලතුවක්කුවල බලය ඔවුන්ගේ ආයුද බලයට වඩා වැඩි බව ඔවුන්ගේම යම් යම් වාර්තාවල සඳහන් කර තිබේ. මේ නිසාම ඔවුන් මාතර බලකොටුව වැනි වඩාත් ශක්තිමත් බවින් වැඩි ආරක්ෂිත බලකොටු ඉදිකරන්නට පෙළඹි තිබේ.

මාතර බලකොටුව ඉදි වූ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් වෙළඳ නගර ඉඳි වූ අතර එමඟින් විශාල ජනගහණයක් මෙම ප්‍රදේශයන්ට ඇදී ඒමක් ද සිදුව තිබේ. විශේෂයෙන්ම රට අභ්‍යන්තරයෙන් නිෂ්පාදනය වන වෙළඳ භෝග විකිණීම සඳහා විශේෂිත මධ්‍යස්ථානයන් ලෙසින් ලන්දේසි ජාතිකයින් බලකොටුව ආශි‍්‍රත කලාපයන් භාවිතයට ගෙන තිබේ. දේශීය හා විදේශීය සතුරන්ගෙන් වෙළඳ භෝග ආරක්ෂා කරගැනීම සඳහා බලකොටුව අභන්තරයේ ගබඩා මධ්‍යස්ථාන ඉදිව තිබූ බව ද පැවසේ.

එච් එම්.සමන් කුමාර ඇරෑගම

පුරාවිද්‍යා පර්යේෂණ සහකාර (කැණීම්)

ඡායාරූප- නිශ්ශංක විජේරත්න

Location name: 

සයුර අද්දර පවුරු තරකළ මාතර බලකොටුව