“වැඩ කටයුතු හමාර වී ඉස්පාසුවක් ඇති වූ විට ඔවුන්ගේ භාෂාවෙන් අම්බලම යැයි කියන ආගන්තුකයන්ගේ හා මඟීන්ගේ නැවතීම සඳහා සාදා තිබෙන ස්ථානයන්ට රැස් වී වාඩිගෙන බුලත් කමින් එකිනෙකා දෙස සන්සුන් ලෙසත්, උදාර ලෙසත් බලාගෙන රාජ සභාවේ කටයුතු රජු සහ ප්‍රධානින් අතර කටයුතු, නගරයේ මිනිසුන් යෙදී සිටින රැකී රක්ෂා සම්බන්ධයෙන් ද, අවාහ, විවාහ, නෑගම්, මළගම්, ගම් දනව් පුද්ගලයන් පිළිබඳව සම්භාෂණයෙහි යෙදෙති.” යනුවෙන් මෙරට එළිමහන් සිරකුරුවකු සිටි. රොබට් නොක්ස් නම් ඉංගී‍්‍රසි ජාතිකයා එදා හෙළදිව පොතේ වාර්තා කර තිබේ. අම්බලමක් යනු ආගන්තුක මඟීන් සඳහා නැවැතී විවේක ගැනීමට තැනුවකි. එසේත් නැත්නම් දුර බැහැර යන විට ගමනාන්තයට ළඟා වීමේදී රාත්‍රී නවාතැන්පළක් ලෙසත්, භාවිතා කරන ලදී. එකල නිර්මාණකරුවා මෙය සැලසුම් සහගතව ඉදි කරවූ දර්ශනීය නිමාවකින් යුතු ඉසිඹුහලකි.

මාතර වෙරගම්පිට අම්බලම ද එවන් ඉසිඹුහලකි. මෙහි ඉදිකිරීම් කාලසීමාව පිළිබඳ නිශ්චිත තොරතුරු නොමැති වුවත් නිර්මාණාත්මක ආකෘතිය අනුව මෙය 18 -19 සියවස්වල ඉඳිකිරීමක් ලෙස නිර්ණය කළ හැකි බව පුරා විද්‍යා ගවේෂකයන්ගේ අදහසයි. වේරගම්පිට අම්බලම නිර්මාණය කර ඇත්තේ නිල්වලා ගඟට සීමා වන මායිම් ප්‍රදේශයකදී ය. සුන්දර පරිසරයක ස්ථානගත කිරීමෙන් ආගන්තුක මඟීන්ගේ කායික හා මානසික විඩාව දුරු කිරීමට ඉවහල් වන බව තේරුම් ගත් අතීත හෙළයන් මෙවැනි වාස්තු විද්‍යාත්මක ඉඳිකිරීමක් සිදු කිරීමේ දී පරිසරය පිළිබඳ සොයා බැලීමක් සිදු කර ඇති බව පෙනේ.

නාවිමන තොටුපල මුල් කර ගනිමින් මෙය නිර්මාණය වී ඇත. ඈත අතීතයේ පටන් පයින් ගමන් කරන්නන් අතර මඟ නැවතී විඩා හැරීම සඳහා මාර්ග ආසන්නයේ ඉදි කරන ලද ශාලා විශේෂයක් ලෙස ද ඇතැම් විචාරකයින් අදහස් පළ කරනු ලබයි. ඵෙතිහාසික මාර්ග අසල අම්බලම් ඉදිකිරිම සිදු වූ බැවින් ප්‍රදේශය යා බද නගරය යා කෙරෙන අතීත ගමන් මාර්ගය ද මේ ආසන්නයේම වැටි තිබෙන්නට ඇත. මං මාවත් , කුඹුරු යායවල් ඔස්සේ වැටුණු හෙයින් බොහෝ සෙයින් විශාල කුඹුරු යායවල් අසල පාරවල් අයිනෙහි අම්බලම් දක්නට ඇත. වේරගම්පිට අම්බලමට ද එය පොදු කතාන්දරයකි.

ගල් ගඩොල් යොදා සාදන ලද අඩි තුනක් පමණ උස් වූ වේදිකාවක් මත අම්බලම ඉදිකර තිබේ. වැසි අවස්ථාවල හා ගංවතුර අවස්ථාවල ආරක්ෂා වීමට ද, සතා සිව්පාවුන්ගෙන් සිදුවන කරදර වළක්වා ගැනීමට, රාත්‍රී කාලේ නවාතැන් ගත් අය සර්පයින් වැනි සතුන්ගෙන් ආරක්ෂා වීමටත් පොළොව මට්ටමෙන් උස් කොට මේ අම්බලම ඉදිකර තිබේ.

පිටත වේදිකාවට අඩි 2 - 3 පමණ ඇතුළතින් මධ්‍ය කොටස නිර්මාණය කර ඇත. මෙසේ අඩියක් පමණ පළලින් චතුරස්ශ්‍රාකාර රාමුවකි. වෘත්තාකාර කණු 20 ක් පමණ යොදා මෙය නිර්මාණය කර තිබූ බව සඳහන් ය. දැනට එහි පැති දෙකක් ගඩොලින් වෘත්තාකාර කණු වසා ආවරණය කර ඇත. දැනට දක්නට ලැබෙන අම්බලම් අතරින් වේරගම්පිට අම්බලම සුවිශේෂි වස්තු විද්‍යාත්මක නිර්මාණයක් වන්නේ ය. රාත්‍රී කාලේ නවාතැන් ගන්නා මඟීන්ට නිදා ගැනීමට අවශ්‍ය ආකාරයට කොටිටපිලක් ද සකසා ඇත. දැව බාල්ක යොදා වහලය අටපට්ටම් සහිතව සිංහල උළුවලින් සෙවිලි කර ඇත. පෙර දවස ද මේ අයුරින්ම තිබූ බව කියැවේ. මෙහි ඇති කොට්ට පිලවල් වල හත් අට දෙනෙකුට පහසුවෙන් නිදා ගැනීමට හැකි වේ. ඉන් නිර්මාණ ශිල්පියාගේ කලා කෞශල්‍ය මනාව පිළිබිඹු වේ. වෙනත් අම්බලම් මෙන් මෙහි කැටයම් කලාවක් දක්නට නොලැබේ. මෙහි විශේෂත්වය වනුයේ දැවමය නිර්මාණයක් නොවීමයි.

මේ ප්‍රදේශයේ දක්නට ලැබෙන අනෙකුත් අම්බලම් ආකෘතින් විශාල වෙනස්කම් රැසකට තුඩු දී ඇති බව කිව යුතුය. ඒ අතරින් 19 වන සියවසට ද නෑකම් කියන අම්බලම් ඉදිවී ඇත. පරවාහැර, ලේනබටුව, රත්මලේ යන අම්බලම් සියල්ලම 19 වන සියවසට නෑකම් කියනු ලැබේ. එහි නිර්මාණ සියල්ලම මහනුවර යුගයට නෑකම් කිය යි.

මෙම අම්බලන්වල මැල් ආකෘතිය වෙනස් කර තව කොටස් හා නිර්මාණ එකතු කර ඇත. කෙසේ මුත් අද අවට ගොවිතැන් කටයුතුවල නියැලෙන අයට විඩාව දුරු කර ගොවිතැන් හා සම්බන්ධ වෙනත් අවශ්‍යතාවන් ලබා ගැනීමටත්, පොදු කටයුතු සාකච්ඡා කිරීමට ඒකරාශි වන ස්ථානයක් ලෙස යොදා ගනී. දැන් දැන් මංගල ඡායාරූප කරන්නට මෙම අම්බලම් යොදා ගැනීම සුව්ශේෂි වේ.

වේරගම්පිට අම්බලමෙහි අගය හා එහි ඵෙතිහාසිකත්වය ගැන දන්නා ප්‍රදේශයේ වත්මන් පරපුර විසින් මෙය ආරක්ෂා කර ගනු වසරවස් ඊට උර දී කටයුතු කිරීම පැසසිය යුත්තකි.

ඡායාරූප හා සටහන

නිශ්ශංක විජේරත්න

Location name: 

අම්බලම ආගන්තුකයන්ට තැනූ නිවහනයි