බිම වැටී තිබූ ඒ බෝපතවල තිබුණේ පුදුම විචිත්‍රවත් බවක් ය. බැලූ බැල්මට හිතෙන්නේ කවුරුන් හෝ ඒ රටා ඇතැයි කියා ය. නැහැ ඒ බෝ ගසෙන් වැටුණු බෝ පත් ය. ඒ බෝ පත් මත පුංචි ම පුංචියට වැටුණු පිනි බිංදු ය. ඒ පිනි බිදු දගලන්නේ හරියට සිඟිති දරුවෙක් ඔච්චම් කරනවා වගේ ය. ඒ නිසාම අපි හරි පරිස්සමට ඒ බෝ පත් නොපෑගෙන්න හෙමින් හෙමින් පන්සල ඇතුළට ගියෙමු. පුදුම ශාන්ත බවකින් පිරිණු විහාරයක්, මල්වලින් නැගෙන සුවදින් සිතට පමණක් නෙවෙයි ගතටත් පුදුමාකාර සැහැල්ලුවක් දැනෙන්නේ ය. එක් පැත්තකින් බෝධීන් වහන්සේ, තවත් පැත්තකින් සුදුම සුදු පාටට බබලන චෛත්‍ය රාජයාණන් වහන්සේ ය. බුදු ගෙය, ආවාස ගෙය විතරක් නෙවෙයි විහාර ගෙවල් කිහිපයක් ලස්සනට ගොඩනඟා ඇත. හැම දේම හරි පිළිවෙළ ය. දවස් ගණනක් වෙහෙසවී සිටි අපට මේ පුණ්‍ය භූමියට පා තබපු මොහොතේ සිට දැනෙන්න ගත්තේ පුදුම සිසිලසක්. බුදු ගේ දෙසින් ඇසෙන පුංචි හාමුදුරුවන්ගේ මිහිරි බණ ඇසෙන නොඇසෙන දුරින් වාඩි වුණේ, ඒ බණත් අහන ගමන් විහාරයේ ඉතිහාසය පිළිබඳ තොරතුරු ටිකක් හොයා ගන්න ය.

මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උයන්වත්ත, වේහෙරගම්පිට කියන ගම්මානවල මැදිවයි මේ විහාරය පිහිටා තිබේ. අතීතයේ මෙහි වෙහෙරක් තිබූ නිසා වේහෙරගම් පිට යන නම ලැබී ඇතැයි ජනප්‍රවාදවල පවතී. කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ මහ කදුරුපොකුණේ සුවණ්ණජෝති හිමිපාණන් වහන්සේ දවසේ විහාරය ඉදිකර ඇති බවත් රාජාධිරාජසිංහ රජු සමයේ පහතරට සංඝනායක ධූරය දැරූ කරතොට ධර්මාරාම හිමිපාණන් වහන්සේ ද රජ මහා විහාරයේ වැඩ වාසය කර ඇත. පෞරාණික සිතුවම්වලින් සමන්විත විහාර මන්දිරය හා එයට දකුණු පසින් ආවාස ගෘහයත්, වම් පසින් බෝධීන් වහන්සේ ද, පිටු පසින් ස්තූපය ද ඉතා දැකුම්කළුව ගොඩනගා තිබේ.

මහනුවර යුගයේ ඉදි කළ මේ විහාරයට මෙරට පාලනය කළ ඉංග්‍රීසි, ලන්දේසී හා පෘතුග්‍රීසි ජාතිකයන්ගෙන් ද අනුග්‍රහය හා අවධානය ලැබී ඇත. ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයකු වු ජෝන් ඩොයිලි මෙන්ම මහා කිවිඳියකු වන ගජමන් නෝනා ද සිය සිංහල භාෂා ඥානය දියුණු කර ගැනීම සඳහා මෙහි වැඩ විසු කරතොට ශ්‍රී ධර්මාරාම හිමියන්ගේ ඇසුර ලැබූ බව ද ඉතිහාසයේ සඳහන් වේ.

මහකඳුරු පොකුණේ සුවණ්නජෝති, කරතොට ධර්මාරාම, කෝදාගොඩ ස්වාමීන්වහන්සේ, වෙහෙරගම්පිට නන්දාරාම, පැලෑටියන ජිනවංශ ,දීපානන්ද, ඕපාත පුඤ්ඤරතන, යටියන නන්ද ,මෝදරවානේ, සුධම්ම ස්වාමින්වහන්සේලා ද මෙහි විහාරාධිකාරිත්වය උසුලූහ. තෙලුල්ලේ නන්දාලෝක ස්වාමීන් වහන්සේ වර්තමානයේ විහාරාධිකාරිත්වය උසුලති. මෙහි වැඩ විසු කරතොට ධර්මාරාම හිමියන්ගේ පිළිබඳව විශේෂයෙන් ම සඳහන් කළ යුතුය.

දොන් දාවින් විජේසිංහ හා බාල එතනාට දාව ක්‍රිස්තුවර්ෂ 1731 උපත ලද කරතොට ධර්මාරාම ස්වාමීන්වහන්සේ කඳුරු පොකුණේ ස්වර්ණජෝති හිමියන් යටතේ පැවැදි වී මූලික අධ්‍යාපානය ලබා ගෙන නුවර සිට වැඩම කර අත්තරගම රාජගුරු බණ්ඩාර පඬිතුමාගෙන් අවශ්‍ය ධර්ම විනය ශබ්ද ශාස්ත්‍ර ඉගෙන ගෙන මල්වතු විහාරයේ වාසය කර ඇත. රාජාධි රාජසිංහ රජු පහත රට නායක පදවිය කරතොට ධර්මාරාම හිමියන්ට පවරන ලදි. “කරතොට ලන්සියාට පක්ෂය” යනුවෙන් අවලාද ලත් හිමිට පහත රට නායක පදවියෙන් දඩුවම් ද ලැබ සමුගන්නට සිදු විය. “බාරස කාව්‍යගර්භ චක්‍රය” නැමැති දුෂ්කර ප්‍රබන්ධය ලියා එය රාජාධි රාජසිංහ රජුට විග්‍රහ කර දීමෙන් විශ්මයට පත් රජු “පල්ලබැද්ද නම් ගම්වරයද” ශ්‍රී පාදස්ථානයේ නායක පදවියද භාර දෙන ලදි. නැවතත් ගැටුම්කාරී තත්වයක් ඇති වීමෙන් මාතර ප්‍රදේශයට පැමිණි හිමි වේහෙරගම්පිට විහාරයේ වැඩ වාසය කර ඇත. ජාකොප් පන්දග්‍රාප් හා බවුන්රීග් යන ආණ්ඩුකාරවරුන් යටතේ පහත රට නායක පදවිය ලැබ ක්‍රිස්තු වර්ෂ 1827 ජුලි මස 14 වන දින වේහෙරගම්පිට විහාරයේදී කරතොට නාහිමියෝ අපවත් වූහ.මේ විහාරයයේ සිට මීටර් සියයක් පමණ දුරින් කරතොට ධර්මාරාම හිමියන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කරන ලද සොහොන් ගර්භයක් ඉදිකර තිබේ.

අප බොහෝ තොරතුරු සටහන් කරගෙන විහාර භූමියෙන් පිටතට පැමිණීමට සූදානම් වන අතර පුංචි හිමිනම ද බණ අවසන් කර අප පසු කරන්නට වූහ. උන්වහන්සේට වැඳ අප විහාර භූමියෙන් සමගතිමු.

නුවන් කොඩිකාර

ඡයාරූප-නිශ්ශංක විජේරත්න

Location name: 

ගජමන් නෝනා අකුරු කළ වේරගම්පිට විහාරය