කර්කශ, වියළි සුළඟක් හමා ගියේ ය. පරිසරයේ වූ ගිනියම් බව ගතට ඔරොත්තු දුන්නේ නැත. ගස් කොළන් වවා තිබුණ ද හිරුගේ ගිනියම් බවින් මිහිකත බේරා ගන්නට තරම් ඒ ස්වල්ප ගස් ප්‍රමාණය ප්‍රමාණවත් නැත. ගස් පවා වෑයම් කරමින් සිටියේ හිරුගේ කෝපයෙන් බේරෙන්ටය.

දසතින් ඇසෙන්නේ කුරුලු කූජනම පමණි. තියුණු රාව, සිහින් ගීතමය නාද, ශෝකයෙන් වැළපෙන නාද, තරහවෙන් කෑගසන නාද ඈ නොයෙක නාද දසතින් පැතිරෙමින් තිබිණි. බැලු, බැලූ අත හිටියේ කුරුල්ලන් පමණි. කුරුල්ලන් පි‍්‍රයකරන ඔබට නම් මෙය පාරාදීසයකි. හම්බන්තොට ‘කුරුලු උයන’ කුරුල්ලන්ගේ නේක රටා, නේක ගී නාද හා චර්යා පි‍්‍රයකරන ඔබ වෙනුවෙන්ම ඉදිකරන ලද්දකි.

ඔබ සිතාවි, මහ වැසි ඇද හැලෙන, පරිසරය මෙතරම් තෙතබරිත කාලයක මම මේ පරිසරයේ ගිනියම් බව කියන්නේ ඇයි කියා. ඇත්තෙන් ම හම්බන්තොට වියළි කලාපයට අයත් ශුෂ්ක ප්‍රදේශයකි. මේ සති කිහිපයකට පෙර අද අකාරුණිකව මහ පොළොව වනසන වර්ෂාව ගැන හාංකවිසියක් හෝ නැතිව මහපොළොව ඉරිතලා යනතෙක් හිරු මිහිකතට අකාරුණික වූයේ ය. මා කුරුලු උයන නරඹන්නට හම්බන්තොට ගියේ ඒ කාලයේ ය. දරාගත නොහැකි රස්නය මේ කුරුල්ලන් දරා ගන්නේ කෙලෙසක දැයි එහි ගිය මුල්ම නිමේෂයේ මසිතට නැඟුණු ප්‍රශ්නය යි. තැන තැන පොළොවේ වළවල් හාරාගත් කුරුල්ලෝ මෙන් ම තම වපසරියේ වවා ඇති කුඩා ගසක අන්තිම සෙවණැල්ල පවා සොයන කුරුල්ලන් ම සිට එක්කළේ සංවේගයකි. එබැවින් ම මේ කුරුල්ලන් දැඩි හිරු රශ්මියට මුහුණ දෙන්නේ කෙලෙසකදැයි එහි සේවයේ නියුතුව සිටි කාන්තාවකගෙන් මම ඇසීමි.

‘මේ කුරුල්ලන් බොහෝ ප්‍රමාණයක් ගෙන ඇවිත් ඉන්නේ උෂ්ණ කලාපීය රටවලින්. ඒ නිසා මේ කුරුල්ලන්ට උණුසුම හුරුයි’

ඉතින් මම ඒ පිළිතුරෙන් සෑහිමකට පත්වෙන්නට හිත හදා ගනිමි. එහෙත් වැල්ලේ පස් හාරා පොළොවේ තෙතමනය සොයන කුරුල්ලන් ගැන ඇතිවෙන කණගාටුව නම් මසිතෙන් ඉවත් වුයේ නැත.

ආසියාව, දකුණු ඇමරිකාව, දකුණු අපි‍්‍රකාව, ඔස්ටේ‍්‍රලියාව හා යුරෝපයෙන් ගෙන එන ලද පක්ෂී වර්ග 200කට අධික ප්‍රමාණයක් මෙහි නවාතැන් ගන්වා ඇත. දේශීය පක්ෂීන් නැරැඹීමේ ආශාවෙන් යුතු ඔබට නම් හම්බන්තොට කුරුලු උයන නැරැඹීමට යාමෙන් පලක් නැත. එහි සිටින්නේ විදේශීය පක්ෂීන් පමණි. ඒ අතරින් ගිරා වර්ග, මැකෝ වර්ග, කුකුළු වර්ග මොනර වර්ග ඇදී බොහෝ එකම වර්ගයකට, අයත් නමුත් පාටින්, හැඩයෙන් , ප්‍රමාණයෙන් වෙනස් පක්ෂිහු වෙති. උන්ගේ වර්ණ සංකලනය අති විචිත්‍රවත් ය. පියාපත් පුරා විසිරී ඇති රටා මේ ලොව පවතින සුන්දරම හා වෛචිත්‍රම රටා යැයි පැවසීම මුසාවක් නොවේ. ලොව බොහෝ නිර්මාණ බිහිවෙන්නට ඇත්තේ මේ රටා හා වර්ණ අනුසාරයෙන් යැයි මසිතට සිතේ.

හම්බන්තොට කුරුලු උයන ආසියාවේ ලොකුම කුරුලු උයන මෙන්ම පර්යේෂණ මධ්‍යස්ථානය ද වෙයි. සත්ත්ව විද්‍යාව හදාරන බොහෝ විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ට තම පර්යේෂණ සඳහා මේ කුරුලු උයන පර්යේෂණගාරයකි. සත්ත්ව චර්යා රටා, ප්‍රජනන විධි උන්ගේ ආහාර රටා ආදී බොහෝ දේ නිරීක්ෂණයට විද්‍යාර්ථින්ට මෙහි දී හැකිය. ඒ සඳහා විශේෂ පහසුකම් ද මෙහි සලසා ඇත.

කුරුලු උයන විවෘත කර මේ වන විට හරියටම වසර දෙකකි. උද්‍යාන භූමිය පුරා විවිධ වර්ගයේ වෘක්ෂලතා හා පළතුරු වගා කරන්නට දරන උත්සාහය කැපී පෙනේ. කුරුලු කුඩු ඇතුළත පවා විවිධ වර්ගයේ පළතුරු ගස් වවා තිබේ. වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ වියළි කාලගුණයට ඔරොත්තු දෙන පේර ගස්ය.

කුරුලු උයන නැරැඹීමට යන ඔබ කොළඹ නගරයෙන් පිටත්වන්නේ නම් අධිවේගී මාර්ගය ඔස්සේ මාතර දක්වාම යා හැකිය. මාතරින් පැමිණ හම්බන්තොට නගරය පසුකරන ඔබ කටුවාවැව හන්දියෙන් වමට හැරී 7ඬථක් පැමිණි විට කුරුලු උයනට ළඟාවිය හැකිය. දේශීය සංචාරකයන් තවමත් බහුල වශයෙන් මෙහි පැමිණෙනු නොපෙනේ. බැලු බැලූ අත සිටියේ විදේශීකයන් ය. ඔවුන්ගේ වැඩි අවධානය යොමු වී තිබුණේ විවිධ වර්ණ වලින් සර්ජිත වූ මොනර කුලයේ පක්ෂීන් වෙතය. සංචාරකයන්ගේ වැඩි අවධානයක් දිනාගත්තේ සුදෝ සුදු වර්ණයෙන් යුතුව නිරන්තරයෙන් පිල් විදහා අනඟ රැඟුම් පෑ මොනරුන් වෙතය. උන් ද තමන්ගේ ලස්සන නරඹන්නට එන අයට කෘතගුණ දක්වන්නේ පිල් විදහා නැටීමෙනි.

කතරගම බලා යන ඔබට මෙතෙක් හම්බන්තොට නගරයේ මඳ ඉසිඹුවක් ලැබීමට, වෙහෙස නිවා ගැන්මට පහසුවෙන් නැරැඹීමට හැකි තැනක් තිබුණේ නැත. එහෙත් දැන් හම්බන්තොට කුරුලු උයන ඔබට සරතැස නිවන කදිම තැනක් වනු නියතය. එබැවින් දැන් ඇත්තේ වෙනදා නොදුටු හම්බන්තොටකි. මෙහි මිල ගණන් ද සාධාරණය. වැඩිහිටි කෙනෙකුට රුපියල් 200ක් ද අවුරුදු පහේ සිට දහය දක්වා දරුවකුට රුපියල් 100ක් ද අය කෙරේ. පහට අඩු දරුවන් සඳහා මුදල් අය කරන්නේ නැත. විදේශීකයන් සඳහා මේ මුදල මීට වඩා වැඩි අගයක් ගනී.

බස්නාහිරෙන් හිරු අස්ථානගතවෙමින් තිබිණි. මේ දිනවල දවල් කාලය වැඩි නිසාදෝ තවම කළුවර වැටෙන්නට පටන් ගෙන නැත. හයට කලින් උද්‍යානයෙන් පිටවීමට නම් මේ සුන්දර කුරුල්ලන්ගෙන් දැන් සමුගත යුතුමයි. අක්කර 50ක් පුරා ඇවිදි වෙහෙස ගැන මතකයට හෝ නැඟුණේ නැත. අවශ්‍ය නම් සරතැස නිවා ගන්නට කදිම අවන්හලක් ද මෙහි ඇත. විවිධ වර්ණයන් යුතු හංසයෝ, පාත්තයෝ විලේ අලසව පීනමින් සිටියහ. සංචාරකයන් ගැන උන්ට ගානක් නැත. විලට ටිකක් උඩහට වෙන්නට පිහිටි ගල්තලාවේ සිට තැඹිලි වර්ණයෙන් වර්ණිතව බැස යන හිරුත්, ඒ හිරු එළිය වැටී දිලෙන විල් ජලය මත අලසව පිහිනන හංසයනුත් කුරුලු උයන පිළිබඳ මතකයේ නොමැකෙන සටහනක් ව හදවතේ තැන්පත් විණි.

 

සුමුදු චතුරාණී ජයවර්ධන

ඡායාරූප - ලහිරු පිරිස්

Location name: 

විසල් ගහකොළ අතරේ කතරගම කුරුලු උයන