මාතර නගරයේ සිට කිලෝමීටරයක් පමණ දුරකින් පිහිටි ගජමන් වලව්ව මුළු සිරිලක පුරා බොහෝ දෙනෙකුගේ මතකයේ රඳා පවතී. ගජමන් පරපුරේ අතීත සලකුණ වූයේ ගජමන් ආරච්චි ය. ගජමන් ආරච්චි යනු ප්‍රකට කිවිඳියක වූ ගජමන් නෝනාගේ පියා ය. කොළඹ මිලාගිරියේ උපත ලබා මිලාගිරිය පල්ලියේ අධ්‍යාපනය ලැබූ ගජමන් නෝනා කහවත්තටත් එතැනින් මාතර වේරගම්පිටටත් සංක්‍රමණය වන්නේ තම පියාගේ රාජකාරී ගමන් නිසා ය. කොළඹින් පිටත්ව කහවත්තට යද්දී ඇය ළමා විය ගෙවමින් සිටියා ය. මාතර ඇය ජීවත් වූ නිවෙස අද ගජමන් වලව්ව ලෙස ප්‍රකටව ඇත. ඇය ජීවත් වූ මේ නිවෙස පශ්චාත් ලන්දේසි සමයේ හෝ මුල් ඉංගි‍්‍රසි සමයේ ඉදි කර ඇති බවට ඉඟි ඇත. මේ වලව්ව ආසන්නයේ ම වෙහෙරගම්පිට රජමහා විහාරය පිහිටා ඇත. මේ වෙහෙරගම්පිට රජමහා විහාරයේ එවකට වැඩ සිටියේ කාව්‍ය ශාස්ත්‍රයේ අගතැන්පත් හිමි නමකි. එතුමන් හැඳින්වූයේ කරතොට ධර්මරාම හිමියන් ලෙස ය. කවිකමට පෙම්බැඳි සූර කවිකාරියක වූ ගජමන් නෝනා එම හිමියන්ගෙන් අකුරු ශාස්ත්‍රය මෙන්ම කවිකම ද ප්‍රගුණ කළා ය.

එවකට කාන්තාවන්ට අකුරු ශාස්ත්‍රය උගෙනුම අකැප වූ නිසා ඇය පිරිමි වෙස්ගෙන කරතොට හිමි යටතේ කාව්‍ය ශාස්ත්‍රය හදාරන්නට ගිය බව පුරා වෘත්තවල සටහන් වේ.

මාතරට පැමිණීමෙන් පසු තම මාමා වූ පත්තෑයමේ ලේකම් ඇසුරේ අධ්‍යාපනය ලබාගත් බව ද කියැවේ. උගත්කමින් රූපශ්‍රීයෙන් පරිපූර්ණ වූ ගජමන් නෝනාගේ අතපතා බොහෝදෙනා ආවත් ඇය තුරුණුවියට පත්ව විවාහයක එළැඹියේ තල්පෙ පත්තුවේ මෙරෙංචිගේ ගාර්දියස් ආරච්චි සමඟ ය. ඒ විවාහයෙන් ඉතා පි‍්‍රතිමත්ව ගත කරමින් සිටියදී එක් දරු මවකව සිටියදී ඇගේ සැමියා මිය පරලොව යන්නේ ඇය වේදනාවට පත් කරමින්ය. අලියකුගේ පහර දීමෙන් ඇගේ පියා වූ ගජමන් ආරච්චි අකාලයේ මිය ගියේ ඇය මෙන්ම තම සොයුරිය වූ අරනෝලියාව ද ලුවිස් නම් වූ තම සොයුරා ද තනි කොට තබා ය. ඉන්පසුව ඇය දෙවැනිවරට මහත් දුකට පත්වන්නේ තම සැමියාගේ වියෝවත් සමඟම ය. තම පළමු සැමියාගේ මරණයත් සමඟම ඇය කලක් ගත වනතුරු හුදකලාවම විසුවේ මෙම වලව්වේ ය. ඇය දෙවැනිවරට විවාහ වූයේ දෝන් ගේබ්‍රියල් හෙන්ද්‍රික් විමලසේකර මුහන්දිරම් සමඟය. ඒ විවාහයෙන් ඇයට පුතුන් තිදෙනෙකි. කවිකමෙහි දස්කම් පෑ ඇයගේ කවීත්වය එකල බොහෝ ප්‍රදේශවල පවා පතල විය. පළමු සැමියා මිය ගිය පසුව ද බොහෝදෙනෙකු ඇගේ අතපතා ආව ද ඇය ඒ යෝජනා තරයේ ප්‍රතික්ෂේප කළාය. ඇලපාත මුදලි ඇගේ පේ‍්‍රමය පතා වෙහෙසුණු පෙම්වතෙකි. දෙදෙනා අතර කවියෙන් අදහස් හුවමාරු වීමද දක්නට ලැබිණි. ඒ සියලු කවිකම්වලට ඇය කවියෙන්ම පහර ගැසුවා ය. ඇලපාත මුදලි ආදරය පතා ඇගේ රුව වර්ණනා කළේ කවියෙන්ම ය.

“පුන්සඳ දෝ මිදුලේ කරකැවෙන්නේ

රන් බඳ දෝ ගෙයි ඇඳපිට නිදන්නේ

රන් කොළ දෝ ඔය ළමයා ගොතන්නේ

පින් මඳ දෝ මා ළං කර නොගන්නේ

 

වතාවත්, සදිසි නෙත් යුග නිලුපුල්ලා

ඇතා යුර ගමන යයි වටපිට බලලා

ඉතා රතුලියක් කහවත්තෙදි දැකලා

කතා නොකර ආවෙමි සරණය පතලා...”

 

මාතර යුගයේ සුප්‍රකට කවිකාරියක වූ රුහුණේ විසූ දෝන ඉසබෙල් පෙරුමාල් කොර්නේලියා හෙවත් ගජමන් නෝනාගේ ජීවිතය යළිදු කුඳුළකට හැරෙන්නේ දෙවැනි සැමියා ද හදිසියේ මිය පරලොව යාමෙන් පසුව ය. දරු පැටවුන් ද අකාලයේ රෝ දුක්වලට ලක්ව මිය ගියෙන් ඇය තනි වූවාය. ජෝන් ඩොයිලි දිසාපති විසින් ඇයට “නෝනාගම” නින්දගම පිරිනැමුවේය. කෙසේ වුව ද ඇගේ ජීවිතයේ අවසාන භාගය කඳුළක්ම වූ බව කියැවේ. 1814 වසරේ දවසක ඇය ජීවිතයෙන් සමුගෙන ගියා ය.

මේ වලව්ව තනි මහල් ගොඩනැගිල්ලකි. ඉදිරිපස විවෘත පෝටිකෝවකි. පල දෙකකින් යුතු වහලය සෙවිලි කොට ඇත්තේ පැරැණි සිංහල උළු වලිනි. පුරා විද්‍යා දෙපාර්තමේන්තුව භාරයේ තිබෙන මේ වලව්ව මේ වනවිට අලුත්වැඩියා කටයුතු ආදිය සිදු කෙරෙන්නෙ මාතර මහ නගර සභාව මඟිනි.

නන්දි අලුත්ගේ රත්නවීර

ඡායාරූප - නිශ්ශංක විජේරත්න

Location name: 
sub title : 
ගජමන් වලව්ව

අග්‍රගණ්‍ය කවිකාරියකට සෙවණ දුන් ගජමන් වලව්ව