ඉංගී‍්‍රසි පාලනයත් සමඟම මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ අතිමහත් දියුණුවක් ඇති වූ බව කිව හැකිය. ඒ අතර මහාමාර්ග මෙන්ම දුම්රිය මාර්ග ද ඉදිවුයේ ගමනාගමනයට පහසුවක් සලසමිනි. 1815 සිට 1948 දක්වා වූ කාලය තුළ මෙලෙස ඉදි වූ දුම්රිය ගමනාගමනය නිසා මිනිසුන් විවිධ පළාත්වලට ටිකෙන් ටික සංක්‍රමණය වීම ද සිදුවුයේ ය. මේ අනුව දුම්රිය මාර්ග ඉදිවීමෙන් පසු මිනිසුන් දුර බැහැර ගමන්වල දී වැඩි පුරම යොදා ගත්තේ දුම්ිරිය ප්‍රවාහනයයි. මාතර ජනතාවට ද මෙය පොදු වුවා සේය. ප්‍රවාහනයේ පහසුවටත් පරිපාලනයේ පහසුවටත් මේ දුම්රිය මාර්ග යොදා ගැනිණි. ඉතා ජනපි‍්‍රය ප්‍රවාහන ක්‍රමයක් ලෙස කොළඹ සිට මාතර දක්වා ඉඳි වූ දුම්රිය මඟ ඉතා ප්‍රයෝජනවාත් වූ අතර ඉන් ඉටු වූ සේවය අපමණය. 1875 වර්ෂයේ දී මුහුදු බඩ දුම්රිය මාර්ගයට රජයේ අනුමැතිය ලැබී තිබුණි. මෙහි පළමු අදියර වූයේ මරදානේ සිට මොරටුව තෙක් කොටස් ඉඳිකිරීමය.

1890 වන විට පානදුරට ද දකුණු කළුතරට ද එතැන් සිට අලුත්ගම දක්වාද ඉඳිවිය. නැවතත් 1894 වන විට අම්බලන්ගොඩ සිට ගාල්ල දක්වා වැඩකටයුතු අවසන් විය. ප්‍රධාන ඉංජිනේරුවරයා වුයේ එෆ්.ජේ.වෝරිංග් මහතාය. ක්‍රමයෙන් මාතර දක්වා පුළුල් වූ දුම්රිය මාර්ගය අද වන විට දකුණු දිග දුම්රිය මාර්ගයේ අවසන් දුම්රිය පොළ ලෙස හැඳින්වේ. මෙය පරිපාලන කටයුතුවලට මෙන්ම මගී හා භාණ්ඩ ප්‍රවාහනයේ දැඩි පහසුවක් වී ඇත.

ආරම්භක යුගයේ තිබුණේ දුම්රිය ස්ථාන කිහිපයක් පමණි. තල්පේ, අහංගම, වැලිගම, කුඹුරුගමුව, මාතර ලෙසිනි. තල්පේ දුම්රිය ස්ථානය පිහිට වුයේ මුලිකව මහජන ප්‍රවාහනයට අමතරව ප්‍රදේශයේ පොල් හා ඒ ආශි‍්‍රත නිෂ්පාදන ප්‍රවාහනය කිරීමේ අභිලාෂයෙනි. මේ නිසා මෙහි ප්‍රධාන දුම්රිය ස්ථානයට අමතරව බඩු ගබඩාවක් ද නිල නිවෙසක් ද ඉදිවිය.

අහංගම දුම්රිය ස්ථානය තේ, පොල්, සහල්, බුලත්, පුවක් පැඟිරි, කුරුඳු, ගම්මිරිස්, කෙසෙල්, තල් වැනි තදාශි‍්‍රත නිෂ්පාදන ප්‍රවාහනය කිරීමේ අරමුණ ඇතිව ය. 1895 වසර වන විට මෙහි දුම්රිය ස්ථානයක්. ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් නිල නිවාස දෙකක්, බඩු ගබඩාවක් සහ මුලික ඉදිකිරීම් නිම වී තිබුණි.

මාර්ගයේ අවසන් දුම්රියපළ එහි වූ නිසා ප්‍රධාන දුම්රිය මාර්ගයට අමතරව මාර්ග කිහිපයක් ද, විශාල බඩු ගබඩාවක් ද,දුම්රිය එන්ජින් යන්ත්‍ර හා මැදිරි හැරවීමට හැරවුම් වේදිකාවක් ද එන්ජින් නඩත්තුවට ධාවනාගාරයක් ද ජලටැංකියක් හා පොම්පාගාරයක් ද මෙහි ඉදිකළේය.

ප්‍රදේශයේ පොල් හා ඒ ආශි‍්‍රත නිෂ්පාදන, සහල්, බුලත්, පුවක්,කුරක්කන්, ගම්මිරිස්, කෙසෙල්, පැඟිරි නිෂ්පාදන මාතර දුම්රිය පළ බඩු ගබඩාවට එකතු කෙරිණි. දුම්රිය ස්ථානය ද පල දෙකේ මුදුන් වහලවල් 03න් යුතුව දිගැටි හැඩයක් සහිතව මෙන්ම වේදිකාවක් සහිතව ද ඉදිවිය. සිලින්ඩරාකාර ඝන යකඩ කුලුනුවලින් අලංකාර විය.

මාතර දුම්රිය මාර්ගය හා ස්ථානය පුරාවිද්‍යාත්මක අධික වටිනාකමකින් යුක්ත ය. ආරම්භයේ දී පැවැති ඇතැම් ඉදිකිරිම් තවමත් මේවායේ දක්නට ඇත. එදා මෙදා තුර ආ දිගු ගමනේ අදටත් මේ දුම්රිය මාර්ගය ඉතා ජනපි‍්‍රය ගමන් මඟක් වන අතර මාතර දුම්රිය ස්ථානය ද සුවිශේෂී ගමනාන්තයක අවසන් සොඳුරු නවාතැන වනු ඇත. අවුරුදු 115ක පමණ වූ අතීත ස්මරණයන් මෙය සතු ය.

ප්‍රවේශ පත්‍ර කවුන්ටර, දුම්රිය මෙහෙයුම් කාර්යාලය, දුම්රිය පාලක කාර්යාලය, ද ඇතුළු සියලු කාර්යය මණ්ඩලය ධාවනාගාර කාර්ය මණ්ඩලය, දුම්රිය ආරක්ෂක හමුදා, දුම්රිය නියාමකවරු මෙහි දිනපතා සේවයේ නියැලී සිටිති. මේ සියලු කටයුතු සිදු වන්නේ මගීන්ගේ සුවපහසුව වෙනුවෙනි. පෙ.ව. 5.00සිට දිනපතා දුම්රිය සේවාවන් මෙහි සිදු කෙරේ. මෙහි වත්මන් ප්‍රධාන දුම්රිය ස්ථානධිපති වන්නේ එන්.ඩී.එස්. විජේරත්න මහතා ය.

නන්දි අලුත්ගේ රත්නවීර

ඡායාරූප - නිශ්ශංක විජේරත්න

මාතර දුම්රිය පුරාණය