ගාල්ල, මාතර ප්‍රධාන මාර්ගයෛ් මාතර නගරයට කි.මි. 1.6 ක් පමණ දුරින් ගාල්ල දෙසට වන්නට අකුරැස්ස පාර නැතහොත් අධිවේගී මාර්ග පිවිසුමට මුහුණලා නූපේ මංසන්ධියේ මෙම ගොඩනැගිල්ල පිහිටා ඇත. මාතර නගරයට ගාම්භීරත්වයක් ද ගෙන දෙන්නා වූ මෙම ගොඩනැගිල්ල සුවිශේෂී වාස්තුවිද්‍යාත්මක අගයකින් යුතුය.

බ්‍රිතාන්‍ය පාලන සමයේ මුල් අවධියේ ඉදිකරන ලද මෙම ගොඩනැගිල්ල වෙළඳපලක් ලෙස භාවිතා කොට ඇත. ශ්‍රී ලංකාවේ යටත් විජිත පාලන ක්‍රමය ආරම්භ කළ මුල් කාලයේදීම නාගරික සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වශයෙන් වෙළඳපලවල් ඉදිකිරීම් දක්නට ලැබේ.

මේ අනුව 19 වන සියවසේ අග භාගයේ දී බ්‍රිතාන්‍ය පාලකයින් මෙසේ ප්‍රධාන නගරවල වෙළඳපල ගොඩනැගිලි ඉදි කරනු ලැබීය.

ඉංගී‍්‍රසි ඊ අකුරේ හැඩයට නිර්මාණය කර ඇති මෙම ගොඩනැගිල්ලේ ඉදිරිපස අඩි 200 ක් දිගින් ද පිටුපස කොටස අඩි 200 ක් දිගින් ද පිටුපස කොටස අඩි 100 ක් දිගින් ද යුතුය. පළල අඩි 30 කි. කුළුණු 72 ක් මත දරු සිටින මෙහි කුළුණ සුවිශේෂී අලංකරණයකින් යුතුය.

එක් කුළුණක් උසින් අඩි 10 යි අගල් 10 ක් ද කුළුණේ ඉහළින් වට ප්‍රමාණය අඩි 5 අඟල් 03 ක් ද කුළුණේ පහළ වට ප්‍රමාණය අඩි 6 යි අඟල් 08 ක් ද වේ. තවද එහි ඉදිරිපස ගොඩනැගිල්ලේ මධ්‍යයේ සිට බැලූ විට ඉදිරියට නෙරා ඇති පරිදි ඉදිරිපස ප්‍රවේශයේ දැව රාමුවකින් ද යුක්තව නිර්මිත පෝටිකෝව එහි අලංකාරත්වය තවත් වැඩි කරණු ලබයි. එය ද අලංකාරවලින් යුත් දැව කුළුණු මත දරා සිටින සේ නිර්මාණය කර ඇත. මෙම ගොඩනැගිල්ලේ සුවිශේෂී වාස්තු විද්‍යා අංගයක් වන්නේ ගොඩනැගිල්ලේ ඉදිරිපස කොටසේ වහලයට උඩින් නෙරා ගිය ඉතා විචිත්‍රවත් කුඩා වහල තුනයි. මෙය ඉතා දුර්ලභ වාස්තු විද්‍යා අංගයකි. ඒවා වා කවුළු ලෙස හෝ අලංකරණය පිණිස යොදා ගත්තා යැයි සිතිය හැකිය. මෙම වාස්තු විද්‍යා ලක්ෂණ බ්‍රිතාන්‍ය යුගයේ මුල් අවධියේ වාස්තු විද්‍යා ලක්ෂණයන්ට බෙහෙවින් සමානකම් ඇත.

තවද වහලයට පෙති උළු සෙවිලි කර ඇති අතර මහනුවර යුගයේ භාවිතා කරන ලද මෙම උළු විශේෂය දේශීය නිර්මාණයකි. එමෙන්ම මෙහි බිමට මැටි ගල් අල්ලා ඇත.

මෙම නිර්මාණ බොහෝදුරට සංරක්ෂණය විදේශීය වුවද, තාක්ෂණය, අමුද්‍රව්‍ය හා ශ්‍රමය ආදිය පිළිබඳ සලකා බලන විට ඒවාට සම්බන්ධ වී ඇති දේශීයත්වය සුළු කොට තැකිය යුතු නැත. එම නිසාම මෙම ගොඩනැගිල්ල ද්වීත්ව සම්ප්‍රදායකට අයත් ලෙස සැලකීමට පටන් ගෙන ඇත. (විජේසූරිය: පැරණි රුහුණු අසිරිය 1999:20)

මෙම ගොඩනැගිල්ල එකල වෙළඳපොලක් ලෙස භාවිතා කළ බවට පැරණි මූලාශ්‍රවල මෙන්ම පුරාවිද්‍යාත්මක සාධකවලින් ද ගම්‍ය වේ. වෙළඳසැලෙහි බඩු විකිණීම සඳහා වූ කුඩා වේදිකා එකල තිබී ඇති අතර පසුකාලීන ප්‍රතිසංස්කරණයනවලදී එම සාධක ඉන් ඉවත්ව ඇත. එම වේදිකා අඩි 1 1/2ක් පමණ උස්ව වේදිකා සමූහයකින් ගමන් කිරීම පහසු වන පරිදි නිර්මාණය වී තිබී ඇත. මෙම ගොඩනැගිල්ලේ විවෘත අවකාශය ලෙස එදා මෙන් අදත් දක්නට හැකිය. මෙම ගොඩැනැගිල්ල විවිධ රාජ්‍ය ආයතනවලින් විවිධ කාලවලදී ප්‍රතිසංස්කරණයන්ට ලක් කොට ඇත. මුලින්ම මෙම ගොඩනැගිල්ල නගර සභාව සතුව තිබී පුරා විද්‍යා දෙපාර්තමෙන්තුව මඟින් ද සංරක්ෂණය කර ඇත. ඉන් පසුව මෑත භාගයේ 2014 වර්ෂයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් එහි සම්පූර්ණ සංරක්ෂණය නැවත කරන ලදී. අදත් මෙම ගොඩනැගිල්ල එය ආරම්භයේ භාවිතා වූ පරිදිම වෙළෙඳපල කටයුතු සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් විවිධ ආයතන සඳහා වෙන් කරනු ලබයි.

ඒ.ඩී.එම්.ඩබ්.කේ.කේ. අලහකෝන්

ප්‍රාද්ශීය සහකාර අධ්‍යක්ෂ (ගාල්ල - මාතර)

ඡායාරූප - නිශ්ශංක විජේරත්න

Location name: 

නූපේ ඕලන්ද වෙළෙඳපොල