ගොම්මන් අඳුර තවමත් කලපූවට එබිකම් කර නැත. හිරු පැළ දිගින් නික්ම යාමටත් පෙර ම සඳකොමළිය පායා ආවාය. හිරුත් සඳුත් දෙදෙනා ම එකම අහසේ පායා තිබු ඒ දුර්ලභ අවස්ථාව කලපූවේ ශරීර යෝග්‍යතාව උදෙසා ඇවිදින, දුවන පිරිසේ නම් නෙත නොගැටුණු බැව් මට විශ්වාස ය. සොබාදහම සිය දුර්ලභ සුන්දර අවස්ථා පෙන්වන්නේ එහි සුන්දරත්වය විඳීමට අවැසි වූවන්ට ම පමණි.

බැසයන මළ හිරුගේ රශ්මිය රක්තවර්ණව කලපු දිය මතට වැටී දිය රැලි සමඟ ම දිය වී යන දසුන මනරම් ය. නේක විධ කුරුල්ලන්ගේ විවිධාකාර කූජන විසින් පරිසරයේ ගුප්ත නිහැඬියාව බිඳ දැම්මේය. මේ ස්වභාවික සුන්දර නාදාවලි කිසිවක් ම හෝ නොවිඳ ඒ නාද රටා ම තාක්ෂණය හා මුසු කර කඨෝර නාද ස්වර මාලා සේ උපද්දවා ඇති කෘත්‍රිම සංගීතයට ශ්‍රවණාධාර ඔස්සේ සවන් දෙමින්, බොහෝ පිරිස් ඇවිදිමින්, දුවමින් ශරීර යෝග්‍යතාවේ යෙදෙමින් සිටියහ. ආධ්‍යාත්මික යෝග්‍යතාවට අවැසි බොහෝ දේ පරිසරය විසින්ම දායාද කොට දී තිබුණ ද බොහෝ පිරිස් ඒවා විඳින්නට තරම් පුහුණුවක් ලැබුවෝ නොවෙති. සොබා දහම ද තමන්ගේ සුන්දරම දෑ තිළිණ කරන්නේ තමන්ට ආදරය කරන්නන්ට ම පමණී.

අද මම ඔබ කැඳවාගෙන යන්නේ අගනුවර සිට කි.මි. 20 ක් පමණ දුරින් පිහිටි සුන්දර ලුනාව කලපුවාට. ලුනාව කලපුව දෙස් විදෙස් බොහෝ සංචාරකයන්ගේ ජනපි‍්‍රය ගමනාන්තයක් නොවුවේ මන්දැයි මගේ සිතට තවමත් ගැටලුවක්. ඒත් කුරුල්ලන් නරඹන, කුරුලු ඉරියව් සුක්ෂ්ම අයුරින් සේයාරූගත කරන, කලපු ආශි‍්‍රත වෘක්ෂලතා හා පාරිසරික වෙනස්කම් නැරැඹීමට පි‍්‍රයකරන බොහෝ දෙනෙක්ට නම් ලුනාව කලපුවටයි අහම්බයක් නොවෙයි. මොරටුව කියන්නේ ඉතාමත් ජනාකීර්ණ දැඩි නාගරික ප්‍රදේශයක්. ඒත් ඒ නාගරික තදබදය ගැන හාංකවිසියක් හෝ නොදැනෙන ලුනාව කලපුව නම් පරිසරය විඳින්නට, හුදෙකලාව පි‍්‍රය කරන්නන්ට කදිම තෝතැන්නක්.

ලුනාව කලපුව පිහිටා තිබෙන්නේ මොරටුව බටහිර උතුරු දෙසට වන්නටයි. මෙය අඟුලානේ දී. මුහුදට විවර වන කලපුවක්. මෙය අගනගරයේ සිට ඉතාම කෙටි වේලාවකින් ළඟාවිය හැකි අගනගරයට ඉතාමත් ආසන්නයෙන් පිහිටා ඇති ජෛව විවිධත්වයෙන් අනූන ප්‍රදේශයක්. කලපුව ආශි‍්‍රතව මෙසේ සුන්දර පරිසරයක් නිර්මාණය කිරීමට හේතුව දේශීය හා විදේශීය කුරුලු නරඹන්නන්ට හා පර්යේෂණ කරන්නට පහසු ස්ථානයක් සපයා දීමටයි.

කලපුව පිස හමා එන ලුණු මිශ්‍ර සිහින් සුළං රැළි විඳිමින්, පරිසරයේ ම කොටසක්ව තමන්ගේ ශරීර යෝග්‍යතාව සඳහා අවශ්‍ය කරන ව්‍යායාම් හි නිරතවීම සඳහා කලපුව වටා ඇවිදින මං තීරු සකසා තිබෙනවා. මෙහි ඇවිදින මං තීරු කි.මි. 4.32 වටප්‍රමාණයකින් යුක්තයි.

ලුනාව කලපුව කුරුලු පාරාදීසයක්. නේක වර්ණ, නේක ප්‍රමාණයන්ගෙන් යුත් දෙස් විදෙස් පක්ෂීන් බොහෝ ප්‍රමාණයක් මෙහි දී නරඹන්නට පුළුවන්. කොක් වර්ගයේ සියලුම පක්ෂීන් මෙහි ඉතා සුලබයි. ඊට අමතරව ලංකාවේ දක්නට ලැබෙන පිළිහුඩු වර්ග හතර ම මෙහිදී මට හමු වී තිබෙනවා. අපි හැමෝම දන්න මධ්‍යම ප්‍රමාණයේ සිරුරක් හිමි නිල්, තද දුඹුරු සහ සුදු පැහැයන්ගෙන් සංකලනිත තියුණු හොටක් සහිත පිළිහුඩුවා මෙහි වැඩිම ගහන ගනත්වයක් පෙන්නුම් කරන පක්ෂියායි. ඊට අමතරව ප්‍රමාණයෙන් මඳක් විශාල මහ පිළිහුඩුවා, කුඩා ශරීරයක් හිමි විචිත්‍ර වර්ණවත් මල් පිළිහුඩුවා, සුදු කළු ගෝමර සහිත ගෝමර පිලිහුඩුවා යන පිළිහුඩු වර්ග හතර ම මෙහි දී දැකගත හැකියි. මඳක් මැදට වන්නට පිහිටා ඇති විශාල කුඹුක් ගස ගිරවුන්ගේ පාරාදීසයක්. ගිරා රංචු විවිධ ඉරියව් පාමින් රඟන නැටුම් බලා ඉන්නට සුන්දරයි. ඒ වගේම කොබෙයි වර්ග කිහිපයක් ද මෙහි නිත්‍ය සාමාජිකයන්. මීට අමතරව නිල් කුරුමිණි කුරුල්ලන්, කොණ්ඩ කුරුල්ලන්, කහ කුරුල්ලන්, බට්ටිච්චන්, මයිනන්, කෑරලුන්, කිරලුන් ආදී නොයෙක් කුරුල්ලන් මෙහිදී නිරීක්ෂණය කළ හැකියි. අප, නම් නොදන්නා විදෙස් කුරුල්ලනුන් මෙහි සුලබයි. මේ දිනවල යුරෝපීය රටවල පවතින දැඩි ශිතල කාලගුණයක නිසා බොහෝ පක්ෂින් ලංකාව වැනි සම ඌෂ්ණ රටවල් කරා පියඹා එනවා. ඔවුන්ට මුහුද ආශි‍්‍රතව හමුවන පළමු නවාතැන වන්නේ ලුනාව කලපුව. ඒ නිසා මෙහි විදෙස් පක්ෂනුත් බහුලයි.

කලපුව අවට ගස් කොළන් කපා දැමීම මේ වැනි දේශීය, විදේශීය කුරුල්ලන්ට වාසස්ථාන අහිමිකිරීමට බලපා තිබෙනවා. කලපු දියට ම බර වූ කුඹුක් ගස් පරිසරයට අලංකාරයක් එකතු කරනවා එපමණක් නොවෙයි කුරුල්ලන්ට වාසස්ථාන හා ආරක්ෂාවත් සපයනවා. ඒ නිසා කලපුව අවට වෘක්ෂලතා සුරක්ෂිත කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කළ හැකි නම් මේ සුන්දර පරිසරය තව තවත් සුන්දර වේ යැයි සිතෙනවා.

කලපුව වටා දිවෙන මං තීරුවල ව්‍යායාම සඳහා පැමිණෙන පිරිස් භාවිත කරන වතුර බෝතල්, විවිධ ආහාර ද්‍රව්‍ය, පොලිතීන් කවර වැනි දේ කලපු දියට දැමීම නිසා පරිසරය යම් තරමකට අපවිත්‍ර වී තිබෙනවා. සොබාදහම පෙරළා ඔබට හොඳ දේ දෙන්නේ ඔබත් සොබාදහමට හොඳ දේ දෙන්නේ නම් පමණයි. ඒ නිසා තමන්ගේ කුණු, අපද්‍රව්‍ය මේ පරිසරයට මුදාහරින්න එපා. එය එහි ජෛව විවිධත්වයට, මත්ස්‍ය ගහනයට වගේම කුරුලු ගහනයටත් බලපෑම් කරනවා.

කලපුව වටා ඇති ඇවිදින මං තීරු ඇවිදින, දුවන ශරීර ව්‍යායාම සඳහා පමණයි වෙන් වී තිබෙන්නේ. නමුත් මේ මාර්ගයට සමහරු පාපැදි රැගෙන එනු දක්නට ලැබෙනවා. මෙහි සඳහන් නාම පුවරුවල එසේ පාපැදි ගෙන ආ නොහැකි බව සඳහන්. ඒත් මෙහි නීති පනවා තිබෙන්නේ ඔබේ, මගේ සොබාදහම රැක ගැනීමට බැව් බොහෝ දෙනා සිතන්නේ නැහැ. ඒ නිසා මෙහි නිස්කලංක බවට, සුවදායී බවට, නිහඬ බවට බාධාවෙන අන්දමේ ක්‍රියාකාරකම් කරන අය සිටිනවා. මේ සඳහා රජයෙන් හෝ මැදිහත් වී මේ අපුර්ව පරිසරය රැක ගැනීමට ආරක්ෂක නිලධාරීන් හෝ යොදවනවා නම් කාලෝචිත බැව් මිහිතුරු අපි සිහිපත් කරනවා.

ගොම්මන් අඳුර කලපු දිය මත වැටී අපුුර්ව සෙවණැලි රටා මවයි. මෙතෙක් පරිසරය විචිත්‍රවත් කළ විවිධ පක්ෂීන් නොකියාම සිය වාසස්ථාන කරා නික්ම ගොස් ඇත. පරිසරය ම නිහඬ ය. නිශ්චල ය, ගුප්ත ය. ඉඳහිට කලබල වී කෑගහන කිරලුන්ගේ නාදය විනා වෙන නාද රටා ඇසෙන්නේ නැත. සුළු අස්වැසිල්ලක් ලැබු මොහොතක මේ සුන්දර පරිසරය නරඹන්නට විත් නේක කුරුලු නාද රටා හා ඒකාත්මික වෙමින් හුදෙකලාවේ රසය විඳගන්නා මෙන් මිහිතුරු අපි ඔබට ආරාධනා කරන්නෙමු.

සුමුදු චතුරාණී ජයවර්ධන 
ඡායාරූප - ශිරන්තක පමේෂ් පෙරේරා

Location name: 

කුරුලු රැඟුම් බලන්න ලුනාව කලපුවට එන්න