එකතු කිරීම නැමති සහජ පුරුද්ද මිනිස් වර්ගයාට ඇති වුයේ අද ඊයෙක නොවේ. එය වඩාත් පුළුල්ව හා විධිමත් අයුරින් සිදුවීම දක්වා විකාශනය වීමේ ඵලයක් ලෙසින් ‘කෞතුකාරගාරය’හැඳින්විය හැකිය.

මේ ද එවන් කෞතුකාගාරයකි. මෙය මාතර තාරකා කොටුව තුළ පිහිටයි. තාරකා කොටුව ක්‍රි.ව. 1974 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරා ගන්නා ලදී. අනතුරුව බ්‍රිතාන්‍ය යුගයේ දී සිදු කරන ලද අවිධිමත් ඉඳි කිරීම් ඉවත්කර සංරක්ෂණය කරන ලදී. 2011 - 08 - 11 මේ ඓතිහාසික ගොඩනැගිල්ල තුළ පුරා විද්‍යා කෞතුකාගාරයක් ආරම්භ කරන ලදී.

තාරකා කොටුව කෞතුකාගාරය ප්‍රධාන වශයෙන් ප්‍රදර්ශන මැදිරි දෙකකින් සමන්විත ය. අංක 01 මැදිරිය තුළ මාතර ප්‍රදේශයේ වාස්තුවිද්‍යා ඉතිහාසය නිරූපණය වන අතර අංක 02 මැදිරිය මඟින් මාතර ප්‍රදේශයේ කලා ඉතිහාසය නිරූපිත ය. පිවිසුම් දොරටුවට වම් පසින් ඇති අංක 01 මැදිරියෙහි ඉදිරිපස කොටසෙහි තාරකා කොටුව ඇතුළු යටත් විජිත යුගයේ ඉදිකිරීම් නිරූපණය වන අතර මැද කොටස ආගමික ගොඩනැගිළි පොදු ගොඩනැගිලි හා ප්‍රභූ නිවාස ආදී වෙනත් වාස්තූවිද්‍යා ඉදිකිරීම් සඳහා වෙන් කර ඇත. මැදිරියෙහි පසුපස කොටස ප්‍රාග් ඓතිහාසික යුගය නිරූපිත ය. ‘මැණික් හාමි’ ලෙස නම් කර ඇති වසර 4000 පැරැණි මානව ඇටසැකිල්ල මෙම මැදිරිය තුළ ඇති විශේෂ පුරාවස්තුවකි.

තාරකා කොටුවෙහි ප්‍රධාන පිවිසුමෙහි දොරටුවට දකුණු පසින් ඇති අංක 02 මැදිරියේ ඉදිරිපස කොටසෙහි පහතරට නැටුම් කලාව, සිතුවම්, කලාව, මුර්ති කලාව හා සුළු කලා ශිල්පය නිරූපණය වෙයි. එහි මැද කොටස ලේඛන කලාව හා නානක විද්‍යාව නිරූපිත ය. මැදිරියෙහි පසු පස කොටස මාතර ජන ජීවිතය සඳහා සිදු වූ විදේශීය බලපෑම් නිරූපණය කර ඇත.

මෙම ප්‍රදර්ශන මැදිරි දෙක තුළ අතීත මුතුන් මිත්තන් විසින් පළදින ලද කුඩා පබළු ඇටයේ සිට ඔවුන්ගේ වන්දනාවට පාත්‍ර වු අඩි 5ක් පමණ උසැති ශෛලමය බුදු පිළිමය දක්වා ප්‍රමාණයෙන් කුඩා වුත් විශාල වුත් පුරාවස්තුන් රාශියක් ප්‍රදර්ශනයට තබා ඇත. එමෙන්ම අතීතයේ අපේ රටේ භාවිතා වූ පළමු කාසි වර්ගය වන හස් එබූ කාසියේ සිට තවත් බ්‍රිතාන්‍ය යුගයේ භාවිතා වූ කාසි දක්වා ප්‍රදර්ශනය කර ඇත.

මාතර ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ විදහා දක්වන ගොඩනැගිිලි අනූරූ තුනක් ද අතීත මානවයාගේ සාක්ෂරතාවයට සාක්ෂි අභිලේඛන අනුරූ තුනක් ද ප්‍රදර්ශනය කර ඇත. එමෙන්ම දකුණු ලක ඓතිහාසිකත්වය පිළිබඳ තොරතුරු ඇතුළත් විස්තර පුවරු රාශියකින් හා පහතරට සිත්තරාගේ කලා කෞශල්‍ය විදහා දක්වන සිතුවම් ඵලකවලින් ද සමන්විත වේ.

අනාගත දරු පරපුරේ දැනුම වර්ධනය කිරීම සඳහා වටිනා ශ්‍රාස්ත්‍රිය ග්‍රන්ථි එකතුවකින් යුත් ප්‍රකාශන අලෙවි සැලකින් ද තාරකා කොටුව පුරාවිද්‍යා කෞතුකාගාරය සමන්විත ය.

මාතර නගර මධ්‍යයේ රූස්ස මාරගස් සෙවණින් වට වූ මෙම ඓතිහාසික බලකොටුව පැළ රැස් කර ඇති අපගේ ජාතික උරුමයන් නැරැඹීමට දිනපතා දේශිය විදේශීය නරඹන්නන් මෙන්ම පාසැල් සිසුන් විශ්ව විද්‍යාල සිසුන්, අධ්‍යයන කටයුතු සඳහා ද පැමිණෙති. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය විසින් ඔවුනට අවශ්‍ය සියලු පහසුකම් සපයනු ලැබේ. අඟහරුවාදා දින හා පෝය නිවාඩු දින පමණක් වසා දමන තාරකා කොටුව පුරාවිද්‍යා කෞතුකාගාරය සෙසු සෑම දිනෙකම පෙ.ව. 8.30 - ප.ව. 4.30 දක්වා මහජන ප්‍රදර්ශනය සඳහා විවෘතව ඇත. මුදල් අයකිරිමකින් තොරව නොමිලේ නැරැඹීමේ අවස්ථාව ඔබට ලැබේ.

වජීරා අබේවර්ධන
ස්ථාන භාර නිලධාරි
පුරා විද්‍යා කෞතුකාගාරය
තාරකා කොටුව - මාතර

 

ඡයාරූප-නිශ්ශංක විජේරත්න

බලකොටුවක් ඇතුළත ඇති කෞතුකාගාරය