දකුණු පළාතේ මාතර නගර මධ්‍යයේ නිල්වලා ගඟට මීටර් 100 ක් පමණ උතුරු දෙසින් ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ විදහාපාන තාරකා කොටුව පිහිටා ඇත. ක්‍රි.ව. 1763 දී ඉදි කරන ලද මෙම පුරාවිද්‍යා ස්මාරකය, එකල මෙය “රෙඩ්යුටේ වැන් ඒක් බලකොටුව“ ලෙස නම් කර තිබුණි. නමුත් තාරකාවක මනංකල්පිත හැඩයට සමානව නිර්මාණය කර ඇති බැවින් තාරකා කොටුව ලෙස ව්‍යවහාරයේ පවතී.

ලන්දේසීන් විසින් පීඩිත ගොවි ජනතාවගේ ඉඩම් කැබලි ලියාපදිංචි කිරීම, ඒවායේ අයිතීන් අවලංගු කිරිම, බදු අය කිරීම හේතු කොට ගෙන ක්‍රි.ව. 1760 දී ලන්දේසී පාලනයට එරෙහිව ස්වදේශීකයින්ගේ කැරැල්ලක් හට ගත්තේය. මේ හේතුවෙන් 1761 දී උඩරට බල ඇණි සහ කැරළිකාර ඉඩම් හිමියන් විසින් ලන්දේසින් හට පහර දී මාතර කොටුව යටත් කරගන්නා ලදී. 1762 පෙබරවාරි මාසයේ දී නැවතත් ලන්දේසින් මාතර අල්ලා ගන්නා ලදී. මෙහිදී ඔවුන්ගේ ආරක්ෂක කටයුතුවල දුර්වල තත්ත්වය තේරුම්ගත් මාතර පාලකයින් ලන්දේසි සේනා ශක්තිය වඩාත් ශක්තිමත් කිරීම සඳහා මාතර බලකොටුව පිටතින් ආරක්ෂා කර ගැනීමේ උපක්‍රමයක් ලෙස ක්‍රි.ව. 1763 දී නිල්වලා ගඟේ ඉවුර අසල තාරකා කොටුව ඉදි කරන ලද බව සඳහන් ය. ප්‍රමාණයෙන් විශාල නොවන මෙම බලකොටුවෙහි ඉදිකිරීම් වැඩ ක්‍රි.ව. 1765 දී නිම කළේය. “කැප්ටන් අයි.එච් ලැප්පේ හා ලෙෆ්ටිනන්ට් පේ.අයි.එන්ටින්ක්” යන ඉංජිනේරුවරු යටතේ මෙහි ඉදිකිරීම් භාරව කටයුතු කර ඇත්තේ ප්‍රාදේශීය පාලකයෙක් වූ ඔරුකෙම මුහන්දිරම් ය.

ඉතා අලංකාර ලෙස නිර්මාණය කර ඇති තාරකා කොටුවේ ප්‍රවේශ ආරුක්කු දොරටුවේ ඉහළ පෙරදිග ඉන්දියානු වෙළඳ සමාගමේ ලාංඡනයේ එන ඍර්‍ණඛ් යන අක්ෂරවලට පහළින් අඥඤධභබඥ ඍචද ඡ්ජඬ යනුවෙන් එකල ආණ්ඩුකාරවරයාගේ නම සඳහන් වේ. එයට පහලින් ලන්දේසි රාජකීය ලාංඡනය සඳහන් වේ. එහි දෙපස සිංහරූප දෙකකි. එයට පහලින් 1763 වර්ෂය ද ඹ්ධ්ඍඡ් යනුවෙන් ආණ්ඩුකාරවරයාගේ නමේ මුල් අකුරු ද දැකිය හැකිය.

තාරකා කොටුවෙහි වාස්තු විද්‍යාත්මක සැලසුමට අනුව ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළු වූ පසු ප්‍රවේශ මාර්ගය හා ඒ දෙපස ඇති පිටත ප්‍රාකාරය දැකිය හැකියි. පිවිසුම් මග කෙළවර දිය අගල හරහා ඇති හකුලණ පාලම හමු වේ. එය කොටස් දෙකකින් යුක්ත දැව පාලමකි. එක් කොටසක් හැකිලිය හැකි වන සේ නිර්මාණය කර තිබේ. එය ලීවර ක්‍රමයට ක්‍රියාත්මක වේ. පාලම කෙළවර ආරුක්කු හැඩැති පිවිසුම් දොරටුව හා දෙපස ආරක්ෂක පවුර දක්නට ලැබේ. අඩි 14 පළලැති පවුර මත ආයුධ කවුළු දැකිය හැකිය. ආරක්ෂක පවුරෙන් වට වූ බලකොටුව ඇතුළත හරි මධ්‍යයට වන්නට ළිඳකි. ළිඳ වටා මැද මිදුලකි. ඒ දෙපස සොල්දාදුවන්ගේ කාමර, කාර්යාල, වෙඩි බෙහෙත් ගබඩා පිහිටා ඇති අතර ඒ වටා උස් වේදිකාවකි.

ක්‍රි.ව. 1796 දී ශ්‍රී ලංකාවේ මුහුදුබඩ පළාත් යටත් කර ගන්නා බ්‍රිතාන්‍යයන් විසින් මාතර තාරකා කොටුව ද අත්පත් කර ගන්නා ලදී. ඔවුන් විසින් එය රජයේ ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුව ලෙස පවත්වාගෙන ගොස් ඇති අතර තාරකා කොටුවේ මූලික සැලසුම් ද වෙනස් කරමින් නව ඉදිකිරීම් සිදු කර ඇත. කෙසේ වෙතත්, මාතරට එන දෙස් විදෙස් සංචාරකයන්ගේ නොමද පැසසුමටත් ආකර්ශනයටත් තාරකා කොටුව නිබඳවම ලක් වේ. එසේ හෙයින් “තාරකා කොටුව“ මාතර ගැන කතා කිරීමේදී ප්‍රධාන සංකේතයක් ද වේ.

වජීරා අබේවර්ධන

ස්ථාන භාර නිලධාරි

පුරා විද්‍යා කෞතුකාගාරය

තාරකා කොටුව - මාතර

ඡයාරූප-නිශ්ශංක විජේරත්න

තාරකාවක හැඩැති තාරකා කොටුව