මාතර නගරයට පැමිණෙන ඔබට දැක බලාගත හැකි ලස්සන ම ලස්සන ස්ථානයක් තමයි රන් දූව උපෝසතාරාමය. මාතර ප්‍රධාන බස්නැවතුම් පොළේ සිට මීටර් සියයක් පමණ මුහුද දෙසට, වෙන්න තමයි මේ දූපත පිහිටලා තිබෙන්නෙ. අතීතයේ දී නම් මෙය හැදින් වූයේ ““පරෙයි දූව“ කියලා. එහෙත් මෙහි පරෙයියන් වෙනුවට කපුටන්ගේ රජ දහනක් වෙලා තමයි තිබුණේ.

මෙහි විවිධ ඉදි කිරීම් සිදු කිරීමට කතිකාවත් ගොඩ නැගී තිබුණත් අවසානයේ අපේ ජනතාවට බැති සිතෙන් වන්දනා කළ හැකි පූජනීය ස්ථානයක් ගොඩනගන්න තීරණය කෙරුණා. එහි ප්‍රතිඵලයක් ලෙස අද වන විට මෙම දූපත දර්ශණීය හා සිත් සතන් පුබුදුවන සීමා මාලකයක් බවට පත් වෙලා තිබෙන්නේ.

විශේෂයෙන්ම මෙහි ශ්‍යාමෝපාලිවංශික මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ උපසම්පදා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. මේ උපෝසතාරාමයේ හි ධ්‍රෘතරාෂ්ට්‍ර, විරූඨ, විරූපක්ෂ, වෛශ්‍රවණ යන සතරවරම් දෙවිවරුන්ගේ රූප අඹා බැතිමතුන්ට වන්දනාමාන කිරීමට කටයුතු සලස්වා තිබෙනවා. මීට අමතරව ශ්‍රී පතුල තැන්පත් කළ වටදාගෙය, ගලින් නෙළන ලද බුදු පිළිම ඇතුළු අංගෝපාංග රැසක් උපෝසතාරාමයේහි ස්ථාපිත කර තිබෙනවා.

මෙහි පැමිණෙන වන්දනාකරුවන් ගේ පහසුව තකා දූපතට ගමන් කිරීම සඳහා යකඩෙන් තැනූ පාලමක් ඉදිකර ඇති අතර සෑම දිනකම විශාල පිරිසක් මෙහි වැදුම් පිදුම් කිරීම පැමිණෙනවා. මෙහි සිට මාතර නගරයේ බොහෝ ස්ථාන ද නැරඹිය හැකිය.

නුවන් කොඩිකාර

ඡයාරූප-නිශ්ශංක විජේරත්න

Location name: 

සිත් පුබුදුවන උපෝසතාරාමය