පළාත - දකුණ

 

දිස්ත්‍රික්කය - මාතර

 

පරිපාලන නගරය - මාතර

 

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය - මාතර කඩවත් සතර

 

භූමි ප්‍රමාණය - වර්ග කිලෝමීටර් 53.8

 

සීමා -  උතුරින් මාලිම්බඩ හා තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයත්, දකුණින් මුහුදු තීරයත්, නැඟෙනහිරින් දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයත්, බටහිරින් වැලිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙනුත් සීමා වෙයි.

 

ග්‍රාම සේවා වසම්

66

 

ප්‍රධාන ආර්ථික මාර්ගය

සංචාරක, ධීවර, කෘෂිකාර්මික හා සේවා

 

ජනගහනය

122, 163

 

දර්ශනීය මුහුදු තීරයකින් හා ස්වභාව සෞන්දර්යයෙන් ආඩ්‍ය වූ ගෞරවණීය ඉතිහාසයකට මාතර උරුමකම් කිය යි. මාතර නගරය, මාතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන පරිපාලන හා වෙළෙඳ මධ්‍යස්ථානය යි.

“තුරෙයි” යනු දෙමළ භාෂාවෙන් තොටට කියන්නා වූ නමකි. නිල්වලා නදියෙන් එතෙර වන “තොට” මාතොට වී මාතර නාමය ගොඩ නැගෙන්නට හේතු වන්නට ඇත. තවද පෘතුගීසින් විසින් මාතොට යන්න “මාතුෙරෙයි” ලෙසින් උච්චාරණය කිරීම හේතුවෙන් මාතර යන නාමය ගොඩ නැඟෙන්නට ඇති බව විද්වත්හු මත ඵල කරති. ඈත අතීතයේ පටන් ම නිල්වලා ගඟ මාතර ප්‍රදේශයට මහත් ආභරණයක් විය. මාතරට ජවයක්, ජීවයක් මෙන්ම පුනරුදයක් බිහි වීමටත් උර දුන් ප්‍රධානතම ග්‍රාමක බලවේගය නිල්වලා ගංඟාව යි. එසේ හෙයින් නිල්වලා ගඟ සහ තොට කරණ කොටගෙන “මාතර” නාමය ගොඩ නැගීමට හේතු පාදක වී ඇත.

මාතර දිස්ත්‍රික්කයේ මුළු භූමි ප්‍රමාණයෙන් 4.20% ක් සමන්විත වන මාතර කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශය අතීතයේ පටන් ඉතා ජනපි‍්‍රය හා ප්‍රසිද්ධ වාණිජ නගරයකි. මෙය පහත් තැනිතලා ප්‍රදේශයකි. දකුණු දෙසින් ගාල්ල දිස්ත්‍රික්කයටත්, වම් පසින් හම්බන්තොට දිස්ත්‍රික්කයටත් මැදි වූ මාතර කොළඹින් සැතපුම් 100 ක් දුරින් පිහිට යි. මාතර ජනයාගේ ස්වකීය අනන්‍යතාව භාෂාව තුළින් ප්‍රකට කරවයි. නිල්වලා නදියෙන් පෝෂණය වෙමින් මහ සයුරෙන් සීමා වන මාතර යටගිය දවස පැවැති ප්‍රතාපවත්, ගාම්භීර පෞරුෂයන්වල නෂ්ටාවශේෂ තවමත් නොනැසී පවතී. ඒ අතරට මාතර පාලනයට සම්බන්ධ වූ මුදලිවරුන්ගේ ප්‍රතාපවත් මන්දිර, වලව් ප්‍රමුඛස්ථානයක් ගනී.

ඉතා පොහොසත් බෞද්ධාගාමික පුනරුදයක් සේම ඒ වටා ගොඩ නැගුණු අධ්‍යාපනයක් ද පැවැතිණි. මාතරින් බිහි වූ ප්‍රසිද්ධ ලේඛකයෝ, කවියෝ මෙන්ම විවිධ ක්ෂේත්‍රවල නිපුණ වූවෝ එදා මෙන්ම අදත් වෙති.

කෘෂිකාර්මික වටපිටාව සමඟ ගොඩ නැඟුණු ජන ජිවිතය, මානුෂිකත්වයෙන් පෝෂණය වූවකි. මාතර කදිම ආහාර සංස්කෘතිකයක් ද වෙයි. මාළු ඇඹුල් තියල් ඒ අතරින් කවදත් ප්‍රකට ආහාරයකි. අතීතයේ පටන්ම මාතර ස්වයංපෝෂිත ආර්ථික රටාවකින් සේම සෞඛ්‍ය සම්පන්න ජනතාවක් වාසය කළ භූමිය විය. උගතුන්ට මෙන්ම ව්‍යාපාරිකයන්ට නිජ භූමියකි. ඔවුන්ගේ ආර්ථික, සමාජ, සංස්කෘතික, කලා ශිල්ප යන මේ සෑම දෙයකින්ම මාතරට ආවේණික වූ අනන්‍යතාවය වඩ වඩාත් ඔපවත් වෙයි.

පොල්හේන මුහුදු තීරය කවදත් කා හටත් එකසේ විනෝදය රැගෙන එන්නට සමත් වෙයි. වෙහෙර විහාරස්ථාන සේම පල්ලි හා දේවස්ථාන ද යටගිය දවස ගැන සිහි කැඳවයි. මේ සියලු තොරතුරු කැටි කොට අප කළ ගවේෂණය මෙසේ දිග හරින්නෙමු.

 

ඡයාරූප-නිශ්ශංක විජේරත්න

 

Location name: 

මාතර