අඹ ගසේ අතු පතර නිසොල්මන් ය, කිසිදු හැලහොල්මනක් නැත. සුළඟ පවා සරන්නේ අතු පතරට නොදැනෙන ලෙසිනි. මම නිස්කලංකව අහස් කුස දෙස බලා සිටින්නෙමි. එක්වරම තියුණු නාදයකින් පරිසරය පුරා වෙළී පැවතුණු නිහඬ බව ගිනි ගත්තේය. අඹ ගසේ පත් ද වේගයෙන් සෙලවුණේ ද හදිසි ආගමනයක තැති ගැන්මත් සමඟ ය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉතාම විචිත්‍රවත්, සුන්දර කුරුල්ලෙක් අඹ අත්තක හිඳ වටපිට බලමින් සිටියේය. ඌ කලබලය; තැති ගැන්වුණු පෙනුමෙන් යුතුය; නොසන්සුන් ය.

ගත වුයේ මඳ වේලාවකි. වේගයෙන් පියඹා ආ තවත් එවැනිම ඊට වඩා මඳක් ප්‍රමාණයෙන් කුඩා පක්ෂියෙක් ඒ අසලින්ම වැසුවේය. අතිශය චමත්කාර දසුනකි. මුළු පරිසයේම සියලු සුන්දරත්වයන් එකට එක් වූ කලෙක මෙන් මේ කුරුලු ජෝඩුව අඹ අතු පතර ලස්සන කළේය.

නිරන්තරයෙන් නොදුටුවත් ඔබ මේ සුන්දර කුරුල්ලා හඳුනන බැව් මම දනිමි. කහ කුරුල්ලා නොහඳුනන කුඩා දරුවකු හෝ නැත. එයට හේතුව වන්නේ ද මේ කුඩා පක්ෂියාගේ අසීමාන්තික සුන්දරත්වයයි.

තැනින් තැන හටගත් අඹ ගෙඩි හැම එකකටම පාහේ කහ කුරුල්ලා හොට ඇන බැලුවේය. දෙදෙනා මේ කාර්යය කළේ තරඟයට මෙනි. එහෙත් උන්ගේ බලාපොරොත්තුව නම් ඉටු වුයේ නැත. අඹ පැසී ඉදෙන්නට තරම් කාලයක් තවම ගෙවී ගියේ නැත. කහ කුරුලු ජෝඩුව කෑම ලෑල්ලට පියඹා ආහ. එහි තබා තිබු කෙසෙල් මෙන්ම බත් ද කෑවේ වටපිට බලමිනි. බියෙනි.

සාමාන්‍යයෙන් කහ කුරුල්ලාගේ ප්‍රමාණය 25ජථ ක් පමණ වේ. හිස තද කළු පැහැතිය. දිලිසෙන කහ පියාපත් අතරින් කළු පැහැ ඉරක් දිවේ. පියාපත් දිලිසෙන කහ පැහැතිය. උඩු ළය හා උගුර විචිත්‍රවත් කරමින් දීප්තිමත් කළු පැහැයකි. හොටය රෝස පැහැයෙන් නිමවන්නට සොබා දහම තීරණය කළේ මන්දැයි නොදනිමි. කෙසේ වෙතත් වර්ණ සංයෝජනයේදී වර්ණවල දීප්තිමත්ම සංඝටක තෝරාගන්නට සොබා දහම තීරණය කිරීම අපුර්වය.

කහ කුරුල්ලා හා කිරිල්ලිය වෙනස්වෙන එක කාරණයක් තිබේ. සත්ත්ව ලොව බොහෝ විටෙක මෙන් කුරුල්ලාට වඩා කිරිල්ලිය පැහැයෙන්, පාටෙන්, දිළිසුමෙන් අඩුය. කහ කිරිල්ලියගේ පියාපත් ද කහ කුරුල්ලාගේ පියාපත් තරම් නොදිලෙයි. එහෙත් මේ යුවළ වෙන් වශයෙන් හඳුනාගත නොහැකි තරම් එක සමානය.

කහ කුරුලු ප්‍රජනන සමය මාස කිහිපයක් පුරා පවතී. මැයි පටන් ගන්නා මේ ප්‍රජනන සමය ඔක්තෝබර් දක්වා පවතී. සාමාන්‍යයෙන් කිරිල්ලිය වරකට බිත්තර දෙකක් පමණ දමයි. ඒවා දුඹුරුවන්, දම්වන් හා කළු පැල්ලම් සහිත සුදු පැහැති කුඩා බිත්තරය. බිත්තර දමන්නේ ඇරුණු කූඩුවකය. අතු අග කරුවක හෝ තිරස් අතු දෙකක් අතර පහතට එල්ලෙන පරිදි සාදන කූඩුව තැනීමට යොදා ගන්නේ තණ රොඩු හා කෙඳිය.

කහ කුරුල්ලන් ඝන කැලෑ ආශි‍්‍රතව පැතිරෙන්නේ නැත. කලබලකාරී පරිසරයන්හි මෙන්ම ගම්බද ප්‍රදේශවලද මිනිස් වාසය සහිත ස්ථානයන් හි වාසය කරයි. වැඩි වශයෙන් පළතුරු ආහාරයට ගන්නට කැමැත්තක් දක්වන මොවුන් කෘමි සතුන්ද බත් වැනි ආහාර ද කෑමට ගනු දක්නට හැකිය. බොහෝ ප්‍රදේශවල පැතිරී ඇති කුරුල්ලෙකි. තියුණු නාදය හා දීප්තිමත් කහ කළු සුසංයෝගය නිසා ඕනෑම තැනකදී හඳුනා ගැනීමට පහසුය.

සත්ත්ව ලෝකයේ වෙන කිසිම කුරුල්ලකුªට කහ කුරුල්ලාගෙන් තර්ජනයක් නැත. වරකට වැඩි බිත්තර ප්‍රමාණයක් නොදමන බැවින් සීඝ්‍ර බෝවීමේ තර්ජනයක් ද නැත. වැඩි වශයෙන් ගැවසෙන්නේ යුවළ වශයෙනි.

කෑම ලෑල්ල විචිත්‍රත්වයෙන් සුන්දර කළ කහ කුරුලු යුවළ නිසොල්මනේ යළිත් අඹ අත්ත උඩ වාඩි වී සිටිති. සොබාදහමේ වර්ණ සංයෝජන කෙතරම් නම් සුන්දරදැයි දැනෙන්නේ මෙවැනි සුන්දර දසුන් දකින විටය. මේ ලොව අපමණ වර්ණ සංයෝජන වලට මුල් වන්නට ඇත්තේ මේ සොබා දහමේම වර්ණ නොවේද?

සුමුදු චතුරාණී ජයවර්ධන

ඡායාරූප - නිශ්ශංක විජේරත්න

සොබාදහමේ වෛචිත්‍ර සංකලනය කහ කුරුල්ලා