ඇයට කිසවක් සිතා ගැනීමට ඉඩක් ලැබුණේ නැත. ඒ නිසාම ඇය තමන්ගේ දනහිසට මුහුණ හොබාගෙන කෑ ගසන්නට වූවාය. අනේ මාව අතහරින්න ඇය තව තවත් හයියෙන් කෑ ගසන්න වූවාය. හැබැයි ඇය වටේ හිටපු අයට වගේම ඒ අවට හිටපු අයටත් ඒ කෑගැසිල්ල දැගළිල්ල විනෝදය ගෙන දෙන්නක් වූහ. මේ සිදුවීම ට මුහුණ දෙන පළමු තරුණිය ද ඇය නොවේ.මෙය අහඹු සිද්ධියක් ද නොවේ. දින පතා මෙවැනි සිද්ධි අනන්තවත් දැකගත හැකිය. විශේෂයෙන් ම මෙය ෙමි වෙරළේ පහස විදින්නට එන ගැහැණු පිරිමි භේදයකින් තොරව බොහෝ දෙනකුට මුහුණු දීමට සිදුවන සිද්ධියක් ය. කොයි තරම් වතුර ට බය යැයි කියා කෑ ගැසුවත්, දැගලුවත් තමන් එක්ක ආ පිරිසගෙන් බේරි නොනා ඉන්න නම් ඉඩක් ලැබෙන්නෙ ම නැත. ඒ තරම් පොල්හේන මුහුදු වෙරළ විනෝදයෙන් ගත කරන ස්ථානයක් බවට පත්ව ඇත.

මාතර නගරයේ සිට කිලෝමීටර් දෙකක් පමණ මුහුද දෙසට ගමන් කරද්දි මේ සුන්දර මුහුදු වෙරළ දැකගත හැකිය. ලංකාවේ පමණක් නොව විදේශීකයෝ පවා මාතර පොල්හේන මුහුදු වෙරළට පුදුමාකාර ඇල්මක් දක්වති. ඉතා නිදහසේ තමන්ට රිසි සේ පිහිනන්න, විනෝද වෙන්න නම් දරාපු තැනක් ලෙස මෙම මුහුදු වෙරළ පෙන්වා දිය හැකිය. පිහිණුම් තටාකයක සිරිය ගන්නා හෙයින් කුඩා දරුවන්ගේ සිට වැඩිහිටි අයකුට වුව ද කිසිදු බියක් නොමැතිව මෙහි කාලය ගතකරන්න හැකියාව තිබේ.

නිවාඩු දිනවල විශාල ජනකායක් මෙහි එන නිසා පොල්හේන වටා අලුත් ම අලුත් සංස්කෘතියක් ගොඩනැගී තිබේ. නාන ඇදුමේ සිට කෑම බීම පමණක් නොව විවේකීව දවසක් ගණනාවක් වුව ද ගත කිරීමට අවශ්‍ය නවාතැන් පහසුකම් පවා මෙහි ඉදි වී තිබේ. දෙස් විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් මුර පොළක්, ජීවිතාරක්ෂක කණ්ඩායමක් මෙන්ම විවිධ පහසුකම් රැසක් එහි ස්ථාපිත කරන්න මාතර නගර සභාව කටයුතු යොදා තිබේ.

යළිත් කෑ ගැසිල්ලකි. ඒ තවත් තරුණියක්ව පෙර සේම මුහුද ඔසවා ගෙන යන නිසා ය. ඒ වෙන කවුරුත් නොව මුහුදට බයේ පෙර කෑ ගැසූ තරුණිය විසින්ම වීම පුදුමයක් ය. එක් වරක් මුහුදට බැසපු කෙනෙක් දවස ගෙවී ගියද යළි ඉන් ඉවතට ගැනීමට නොහැකිය. ඒ තරම් පොල්හේන මුහුදු වෙරළ අති රමණීය මුහුදු වෙරළක් වී හමාර ය.

නුවන් කොඩිකාර

ඡයාරූප-නිශ්ශංක විජේරත්න

Location name: 

බිය සැක හැර මුහුදේ නාන්න පොල්හේනට එන්න