පිහිටීම -

රත්නපුර දිස්ත්‍රික්කයේ බෙලිහුල් ඔය

ගමන් මාර්ගය -

කොළඹ - බදුල්ල මාර්ගයේ 155 වැනි කණුව අසල ඇති බෙලිහුල්ඔය තානායම අසලින් ඇති වම් අත පැත්තේ පාරෙන් 2KM පමණ යා යුතුය.

සිඳු සිඹින මඟ සොයන දියත්තක අතරමඟ
බිහිසුණුම ඉසව්වක බෑවුමක් මුණගැසෙන
තරණයක ගිරිසිකර හිස නවා යුහුසුළුව
මුකුළු හස කැන් ගැවසි පිනි මලක් ඇත තවම විකසිතව
 
රළු පරළු ගල් බොරලු පසු කරන් ජීවිතේ ගමන් මඟ
එඩියෙන් වැතිර පහත් වූ හිසින් ගමනක යෙදෙන
සුමුදු පෙණ පිඩු අතර විමුක්තිය සොයා යන
හිරිගඩු පිපෙන ගත සිඹින මල් තුහින

හාවාගල කඳු මුදුනින් සිහිල් සුළං රැලි. හිරිගඬු පිපෙන ගත සිඹින මල් තුහින. හරි අපූරු ලාලිත්‍යයක් පහන්තුඩාව ඇල්ලට එක්කරන්නේ, පසෙකින් පිහිටි රූස්ස ගස් ඉස්මත්තෙන් වියපත් වූ තුරුපත් සුළඟේ ළෙලවා විසුරුවා හරින අපූරුව. හරිත පැහැය හළ පත් පෙළ ඒ මේ අත හැරෙමින්, ඇල්ලට ඉහළින් පවනේ පාවේ. දියඇලි මනාලියගේ සුදෝසුදු කෙටි වේලයට ඉහළින් පැතිරෙන රන්පත් වරුසාවක් වගේ.

පහන්තුඩාව ඇල්ල පටන් ගන්නේ හාවාගල කඳු මුදුනින්. මේක ගොඩක් උස දිය ඇල්ලක් නම් නොවේ. ඒ අවට පරිසරය දිය ඇල්ලට එකතු කරන චමත්කාරය නම් හරි අපූරුයි. පරිසරයේ විශිෂ්ඨතම ස්වභාව සෞන්දර්යය නිර්මාණය පහන්තුඩාව කියලා කිව්වොත් වැරදි නැහැ. එන්න මේ සොබා සොදුරු බව විදින්න. පහන්තුඩාවට ආවම ඔබටත් එහෙම හිතේවි.

මෙම දිය ඇල්ලට පහන්තුඩාව කියන නම ලැබෙන්නේත් එහි ස්වභාවික පිහිටීම නිසාම යි. දිය ඇල්ලේ වතුර වැටෙන ජල තටාකය පහනක හැඩයෙන් යුක්තයි. එම ජල තටාකයට දිය ඇල්ලෙන් වතුර වැටෙන්නේ පහනක තිරයක ආකාරයට. ඒ නිසාම මෙය පහන් තුඩාව ඇල්ල යනුවෙන් ව්‍යවහාර වී ඇත.

වැසි සමයේදී ලැසි ගමනින් ඇද හැලෙන දිය ඇල්ල වැස්ස අඩු කලදී නිහඩව ඉදිරියට යමින් බෙලිහුල් ඔයෙන් සමනල වැවට වැටෙනවා.

මෙතනදී දකින්න පුළුවන් Canyon කියන භූ විද්‍යාත්මක ලක්ෂණය. සාමාන්‍යයෙන් මේ කියන භූ විද්‍යාත්මක ලක්ෂණය අපේ වගේ රටවල ඒ තරම් සුලභ දෙයක් නම් නෙවෙයි. Canyon ගැන සරලව කිව්වොත් මෙහෙමයි. එක ළඟ තියෙන කඳු ශිඛර දෙකක් යා වෙලා හැදුණ නිම්නයක්. ගේම්ස්වල, ෆිල්ම්වල එහෙම හිටිහැටියෙම කඳු අස්සෙන්, ගල් දෙබොක්කාවල් අස්සෙන් හෙලිකොප්ටර් එන හැටි. අන්න ඒ වගේ තැනක් තමයි මේ. පහන්තුඩා ඇල්ල ගලන Canyon එක තනිකර ම නිර්මාණය වෙලා තියෙන්නෙ ගල් පර්වත දෙකකින්. ඒ මැදින් ඇල්ල ගලාගෙන යන විදිය නම් අපූරුයි.

කොළඹ-බදුල්ල මාර්ගයේ 155 වෙනි කිලෝමීටර කණුව අසලින් දකින්න ලැබෙනවා සුප්‍රසිද්ධ බෙලිහුල් ඔය තානායම. එතනින් වම් පැත්තට ළඳුයාය පාරේ කිලෝමීටර දෙකක් විතර ගියාම දකින්න ලැබෙනවා පුද්ගලික විදුලි බලාගාරයක් සී පවර් කියලා. එතනින් පහළට බැස්ස ම දකින්න ලැබෙන්නේ පහන්තුඩාවෙන් ගලන දිය පාර යි. ඒ නිසා ඇල්ල බලන්න නම් ඒ දිය පාර දිගේ තවත් මීටර 200ක් විතර යන්න. ඔබට හමු වේවි හරි අපූරු ජල තටාකයක්. ස්වාභාවිකවම නිර්මාණය වූවක්. තවමත් සංචාරකයන්ගේ ඇස් වලට මෙතන ඒ තරම් අසුවෙලා නැති නිසා ම පිරිසිදු ව ස්වාභාවික විදියටම තියෙනවා .

තණ සහ පයින් ගස් පිරුණ ඇල්ල අවට පරිසරය ස්වාභාවිකව වැවුණු බොන්සායි වැනි කුරු ගස් වර්ගයන්ගෙන් ද ගහන ය. සෞම්‍ය කාලගුණය මෙන්ම දස අත ගලායන සිසිල් සුළග ඔබේ විඩා නිවන අපුරු තෝතැන්නක් වේවි.

වටිනා ශාක විශේෂ, සත්ත්ව විශේෂ මෙම පරිසර පද්ධතිය තුළ දැක ගන්න පුළුවනි. මෙම දිය ඇල්ල සම්බන්ධව විවිධ ජනප්‍රවාද පවතී. එක්තරා මිනිසෙකු ඇති වූ පවුල් ආරවුලක් නිසා මෙම ස්ථානයේ ඇති ගලෙහි යමක් කොටා බඩෙහි ගලක් බැඳගෙන මෙම ස්ථානයට පනින ලද බව කියනු ලැබේ. මෙම ස්ථානයේ දිය නෑම තරමක් ත්‍රාසජනක මෙන්ම අවධානම් සහගත ය. අධික ගැඹුරක් පවතින බවත් එහි පතුළ සොයා ගැනීමට පවා නොහැකි බවත් ගම්මුන් පවසති. අධික වර්ෂාවන් සහිත අවස්ථාවලදී දිය ඇල්ලට ඉහළ ප්‍රදේශයන්හි ජල මට්ටම වැඩි වන විට විනාඩි 10ත් 15 ත් අතර කාලය තුළ මෙම ස්ථානයේ ජල මට්ටම එකවරම වැඩි වේ. එබැවින් මෙහි දිය නෑම අවධානම් සහගත ය.

නදීකා සංජීවනී රත්නායක

ඡායාරූප - නිශ්ශංක විජේරත්න

 

Location name: 

හාවාගල කඳු මුදුනින් බිමට පනින පහන් තුඩාව දිය ඇල්ල