භූතානය කියූ සැණින් අප සිතට නැගෙන්නේ අතිසුන්දර පාරිසරික පද්ධතියක් සහ ඉතා සුන්දර ස්ථායන් හි ගොඩනගන ලද බෞද්ධ වෙහෙර විහාරයන් ය. අප අසල්වැසි රාජ්‍යයක් වුව ද ලෝකය හා වැඩි සබඳතා නොපවත්වන භූතාන වැසියෝ ගෙවන්නේ අතිශය සරල ජීවිතයක් ය. බටහිරට ඕනෑවට වඩා නිරාවරණය වීම විනාශයේ ආරම්භය බව භූතානය විසින් අසල්වැසියන්ගෙන් ම වටහාගෙන තිබීම ඊට හේතුව ද යන්න ගැන පැහැදිලි නැත. කෙසේ වෙතත් ලොව මහා බලවත් රාජ්‍යයන් දෙකකට මායිම්ව පිහිටා තිබෙන භූතානය පිළිබඳ ලෝකයාගේ වැඩි ඇල්මක් බැල්මක් ද නැත්තේ එහි ඔවුන්ට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සාරය උරා බිමට හැකි යමක් නොතිබීම ද විය හැකිය.

කෙසේ වෙතත් ඉන්දියාව සහ චීනයට මායිම්ව පිහිටා ඇති මේ සුන්දර රාජ්‍යයයේ ජනගහනය දෙවැනි වන්නේ මාලදිවයිනට පමණි. භූතානයේ ජනගහනය හත්ලක්ෂ පනස් දහසක් පමණි.

පරිසරය රැක ගැනීම අතින් ලොව අන්කිසිම රටකට වඩා වැඩි අවධානයක් යොමු කිරීමට භූතානය කටයුතු කර ඇත්තේ ඒ තමන්ගේ පැවැත්මේ අවසානය තීන්දු කරන ස්වභාවික සාධකයක් නිසාවෙන් විය හැකිය. බෞද්ධ දර්ශනයෙන් ඔප් නැංවුණු ජීවිත ගත කරන භූතාන වැසියෝ ස්වභාව ධර්මයට දැඩි ලෙස ආදරය කරන්නෝ වෙති. එහි පාලකයෝ ද ඊට නොදෙවෙනි ය.

පරිසරය රැක ගනු වස් දියත් කර ඇති බොහෝ ව්‍යාපෘතිත් අතර කාබන් අවම රටක් ලෙස භූතානය ලොව පුරා ප්‍රසිද්ධියක් උසුලයි. එපමණක් නොව කාබන් විමෝචනය නොවන සහ කාබන් උරා ගන්නා රටක් ලෙස ද භූතානය ප්‍රසිද්ධියක් උසුලයි.

එරට වැසියන්ගෙන් සහ කර්මාන්ත ශාලාවලින් විමෝචනය වන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉක්මවා උරා ගැනීමට තරම් එරට වනාන්තර පද්ධතිය අතිශය ශක්තිමත් ය. එම ප්‍රමාණය කෙතරම් ද යත් එරටින් වසරකට විමෝචනය වන කාබන්ඩයොක්සයිඩ් ටොන් මිලියන 1. 5 ඉක්මවා කාබන්ඩයොක්සයිඩ් ටොන් මිලියන 6 ක් උරා ගැනීමට තරම් එරට වන ගහනය ශක්තිමත් ය.

තම පරිසරයට රැක ගැනීමේ ව්‍යාපෘතිය යටතේ 2030 වන විට හරිතාගාර වායු පරිසරයට මුදා හැරීම බින්දුවක අගය වෙත ගෙන ඒමට ද කැලිකසළ ගැටලුව මුළුමනින්ම විසඳීම ද සහ 2020 වන විට සියයට සියයක් ම කාබනික පොහාර වගාවන්ට යොමුවීම ද භූතානයේ ඉලක්කය යි. වර්තමානය වන විට භූතානයෙන් සියයට හැත්තෑ දෙකක්ම වනාන්තර වන අතර එය සියයට හැට අගයෙන් පහළ නොයෑමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන එරට ව්‍යවස්ථාවට එක් කර ඇත. එරට වනාන්තර රැක ගැනීමේ අරමුණින් මේ වනවිටත් දැව අපනයනය එරට තහනම් කර තිබෙන කර්මාන්තයකි.

පී.කේ. බණ්ඩාර

Location name: 

පණ මෙන් පරිසරය සුරකින භූතාන වැසියෝ