නිර්මල වූ ලූර්දු දේවමාතා දෙව්මැදුර කතෝලික ජනතාවගේ අතිමහත් ගෞරවරයට පාත්‍ර වූ දෙව්මැදුරකි. භක්තිමත් ජනතාවගේ සිත් සතන් මහත් පහන් හැඟීමෙන් සනසාලන මෙම දෙවි මැඳුර ඉතා දීර්ඝ වූ ඉතිහාසයකට නෑකම් කියයි. එය 1942 තරම් දුරකට දිව යයි. ප්‍රදේශයේ වැඩි ජනතාවක් සිටිනුයේ බෞද්ධයන් යයි සිතතත් එවන් පසුබිමක මෙම දෙවි මැදුර වඩාත් වැදගත් අගනා පුදබිමක් සේ කතෝලික ජනතාව විසින් සලකනු ලැබේ.

මෙම දෙවි මැඳුර සඳහා ඉඩම පරිත්‍යාග කරනු ලැබ ඇත්තේ මොරටුවේ දානපතියකු වූ සී.එම්. පෙරේරායි. එතුමන් පරිත්‍යාග කළ භුමියෙහි ජොෂප් මැන්ඩිස් නම් තැනැත්තෙකු විසින් ඉදි කර දෙනු ලැබූ මේ කාමර 2ක ගොඩනැගිල්ලකය. එම ගොඩනැගිල්ල අති පාරිශුද්ධත්වයෙන් සලකා මෙහි පූජාවන් පැවැත්වීමට කටයුතු කෙරිණ. මුළින්ම මේ වත්ත හැඳින්වුයේ “ඉස්කෝලේ වත්ත” යන නමිනි. මෙහි පාසලක් ද ආරම්භ කර තිබූ බවට තොරතුරු ඇත. ඉන්පසු ඇලෙක්ස් ෆොන්සේකා පියතුමා විසින් මෙහි ඉදිරි කටයුතු ආරම්භ කර දිව්‍ය පූජාවන් පැවැත්වීමට පියවර ගෙන ඇත.

මෙලෙස කුඩා ඉඩ කඩකින් පැවැතගෙන ආ ලූර්ද්‍ර මාතා දෙව්මැදුර, දේවමාතා ජනපදයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ අවශ්‍යතාවක් දුටුවේ එවකට අගරදගුරු අති උතුම් තෝමස් කුරේ කාදිනල් තුමා විසිනි. සල්මන් කල්දේරා නමැත්තකු වෙතින් අක්කර 02 ක පමණ ඉඩම් ප්‍රමාණයක් ලබාගෙන එහි පවුල් කිහිපයක් පදිංචි කරවීය. ඒ අනුව එහි පදිංචි වූ ඇතැම් අය ප්‍රදේශයේ ඉතා දුෂ්කර හා වනාන්තර සහිත බව නිසා ප්‍රදේශයේ හැරගොස් ඇත. 1949 වසරේදී තවත් අක්කර කිහිපයක් මිලයට ගෙන මේ ලූර්දුමාතා ජනපදය පුළුල් කර , ඒ සමඟම ‘පුරන්හේන වත්ත’ නම් තවත් අක්කර ගණනක ඉඩම ද මිලයට ගැනීමට කටයුතු කළේය. ඒ අනුව වඩාත් පුළුල්ව පැවැතියා වූ මේ දෙව්මැදුරු බිම 1966 වසරේදී කඩොලාන මීසම යටතට පත්විය. මෙලෙස ඝන වනාන්තරයක්ව පැවැති පල්ලිය වත්ත, මෙහි තිබූ කටු කොහෙල් වගුරුබිම් ඉවත්කොට එළිපෙහෙළි කරවා “පල්ලියවත්ත කතෝලික ජනපදය” ලෙස නම් කොට පවුල් 30ක් පමණ අලුතින් පදිංචි කරවන ලදී.

නන්දි අලුත්ගේ රත්නවීර

ඡායාරූප - නිශ්ශංක විජේරත්න

Location name: 

ලුර්දුමාතා දෙව්මැදුර