කෝට්ටේ රාජධානිය එවකට පැවැතියේ දූපත් 07ක් ආශි‍්‍රතව ය. කැස්බෑව, කෝට්ටේ, දියවන්නාව හා බෙල්ලන්විල ද කෝට්ටේ රාජධානියට අයත්ව පැවැතිණි. දිය අගල් හා මඩ අගල්වලින් යුක්තව රාජධානියේ ආරක්ෂාවට තැනු කොටු පවුරේ සතර දිශාවට වාසල් සතරක් ද ඉදි කළ බව ඉතිහාසයේ සඳහන් ය. උතුරු දොරටුව කොත්තගංතොටට මුහුණලා ඉදි විය.

අනෙක් දොරටුව වන්නේ බොල්ගොඩ ගඟ ඔස්සේ පැමිණ වේරැස් ගඟේ අත්තක් වූ කටු අල නමින් හැඳින් වූ මොරටුව, රත්මලාන, පිළියන්දල, වේරහැර හරහා ගලා එමින් බොරලැස්ගමුව බෙල්ලන්විල පසුකරමින් පාමංකඩ දක්වා දිවෙන ඇළ මාර්ගයයි. බෙල්ලන්විල යන නම පවා සැකැසී ඇත්තේ එදා බොල්ගොඩ ගඟේ සිට කටු ඇල හරහා කරදිය මුසු මුහුදු ජලය ගොඩබිමට ගලා ඒමේදී බෙල්ලන් හා කැස්බෑවුන් ද ඒ සමඟ පැමිණ තිබුණ නිසාවෙනි. කලින් මෙය බෙල්ලන් විල නොව බෙල්ලන් වෙල ය. නමුත්, පසුව ව්‍යවහාරයේදි වෙල විල බවට පත්ව ඇත.

මෙලෙස අලගක්කෝණාර විසින් සැලසුම් කර රාජධානි සැලැස්මේ එදා බෙල්ලන් වෙල ආශි‍්‍රතව ඉතා සශි‍්‍රක කුඹුරු යායක් පැවැතිණි. බලය රැස්වූ ගමුව හෙවත් බොරලැස්ගමුව වැව හැරෙන්නට බෙල්ලන්විල අවට එදා වෙනත් වාරි කර්මාන්තයක් පිළිබඳ ඉතිහාසයේ සාක්ෂි හමු නොවේ. වර්තමානය වන විට එදා වගුරුබිමක්ව පැවැති එම වෙල්යාය බෙල්ලන්විල හා පිල්ලෑව විහාරස්ථානය අවට සුන්දර වැවක් බවට පසුගිය රජයේ ආරක්ෂක ඇමති වූ ගෝඨාභය රාජපක්ෂ මැතිතුන්ගේ මුලිකත්වයෙන් සිදු විය. ඊට පෙර එවැනි වැවක් තිබු බවට සාක්ෂි නැත.

අද මෙය ඉතා දර්ශනීය මෙන්ම දැකුම්කලු වටාපිටාවකින් යුක්ත ය. වැව දෙසින් හමා එන මන්ද මාරුතය ගතට සුවදායක ය. නිදහසේ ඇවිද යාමටත්, ක්‍රීඩා කිරීමටත්, ශරීර සුවතා කිරිමටත් බොහෝ අය මේ නිස්කලංක වු ද අලංකෘත වු ද පරිසරයට ඇදී එති.

මඩ වගුරු හා දිය අගල් ජල උල්පත් ආදියෙන් හිඟ නොවූ මේ ප්‍රදේශය වැවේ ජල ධාරිතාවයට එහි පැවැත්මටත් කදිමට පෑහෙන්නට ඇත. එබැවින් ජලයෙන් පිරී පවත්නා වැව දුටු කල්හි සශ්‍රීකත්වය සේම සොබා සෞන්දර්යයෙන්, මුසු පි‍්‍රය උපදවන ස්ථානයක් වී හමාරය. ජලජ ජීවින්ට හා පක්ෂීන්ට ද හිතැති පරිසරයක් ද වී හමාර ය.

එදා මඩවගුරු දිය අගල් ආශි‍්‍රතව වට වී තිබු කෝට්ටේ රාජධානියට පහසුවෙන් කෙනෙකුට ඇතුළුවීමට නොහැකි විය. පරංගියා කෝට්ටේ ගියා වැනි ප්‍රස්ථාපිරුළු පවා නිර්මාණය වී ඇත්තේ පෘතුගී‍්‍රසින් විශාල වටයක් යවා කෝට්ටේට ඇතුළුවීමට සිදු වූ නිසා ය. අද වන විට ඒ සියලු නිර්මාණයන්ගේ නටඹුන් පවා මැකී ගොසින් ය. නිශ්ශංක අලගක්කෝනාර නම් එම දක්ෂ සැලැසුම් ශිල්පියා කෝට්ටේ රාජධානියේ අභිෂේක මංගල්‍යය පැවැත්වීමට ප්‍රථම රයිගම් පෙදෙසේ වසමින් වසර 03ක සිට අවශ්‍ය සැලසුම් සකස් කළ බව ද ඉතිහාසයේ සඳහන් වේ.

සුරංජා සරෝජිනි පතිරණ

ඡායාරූප - නිශ්ශංක විජේරත්න

Location name: 
sub title : 
බෙල්ලන්විල වැව

බෙල්ලන්විල වැව