පිහිටීම -

බස්නාහිර පළාතේ පිළියන්දල මඩපාත, බටකැත්තර ග්‍රාමයෙහි පිහිටයි

ගමන් මාර්ගය -

පිළියන්දල සිට කහපොල බස් මාර්ගයේ බටකැත්තර දේවාල මාවතට හැරී 1/2 ඬථ පමණ ගිය විට මෙහි ළඟා විය හැකියි.

විශේෂත්වය -

කතරගම දෙවියන් උදෙසා ඉඳි කළ ඉපැරැණි දෙවොලකි

 

කතරගම දෙවියන්ගේ නම මහාසේන ය. ඔහු දේවත්වයට පත්වීමට පෙර කතරගම හෙවත් කාචරගම රාජ්‍ය පාලනය කළ ක්ෂත්‍රිය වංශික මහාඝෝෂ රජතුමා ය. එතුමාගේ රාජ්‍යය පාලන කාලච්ඡේදයේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ බුද්ධත්වයෙන් අට වසරකට පසුව මනිඅක්ඛිත නා රජුගේ ආරාධනයට තෙවන වර ලංකාවට වැඩම කළ සේක. එම අවස්ථාවේ උන් වහන්සේ 500 ක් මහරහතන් වහන්සේ සමඟ අද කිරිවෙහෙර පිහිටි භූමියේ වැඩ වාසය කළ බව ධාතු වංශය පෙන්වා දෙයි.

කතරගම දෙවියන් හා බැදුණු ඉතා රසවත් පුරාවෘත්ත රැසක් පවතී. උපත හා විවාහය ඒ අතරින් කැපී පෙනේනකි. කතරගම දෙවියන් යුද්ධයට අධිපති දෙවිකෙනෙකු බව විශ්වාස කෙරේ. එසේ වුවත් ඔහු සාමකාමී බෞද්ධ දෙවි කෙනෙකු බවත් යථා කාලයේ දී බුද්ධත්වයට පත්වන බවත් බෞද්ධයන්ගේ මතය යි. කතරගම දෙවියන්ගේ පුරාවෘත්තය වසර 2500 කටත් වැඩි ඉතිහාසයකට උරුමකම් කියන ඵෙතිහාසික පුරාවතකි. දුටුගැමුණු රජු එළාර පරදා දේශය එක්සත් කර ගැනීමට පෙර කතරගම දෙවියන්ගේ පිහිට පතා බාරයක් විය. ඒ, සටනින් ජය ලැබුණොත් මෙහි ඇති කතරගම දේවාලය මහා දේවාලයක් බවට පත් කරවන බවයි. එය එසේම සිදුවිය. එහි ප්‍රතිමූර්තියක් ලෙස රට වටා කතරගම දෙවියන් උදෙසා පරිවාර දේවාල සංස්කෘතියක් ඉදිවිය. එහි එක් දෙවාලයක් ලෙස මෙම ඵෙතිහාසික ගොනා බැඳි දේවාලය ඉදි වූ බව කියැවේ.

මේ දේවාලය ඵෙතිහාසික පුරාවෘත්තයකට නෑකම් කියයි. 14 වන සියවසේ මෙය, මනස්කාන්ත පරිසරයකින් යුතු විය. මෙම දේවාලය කෝට්ටේ යුගයේ ඉදි වූවකි. රයිගම් රාජධානියත් කෝට්ටේ රාජධානියත් අතර වූ ගොඩබිම් තීරුවකින් යා වූවකි. මෙකල රාජ්‍ය පාලනය කළේ 7, වැනි බුවනෙකබාහු රජතුමා ය. රජු ආගමික වන්දනාවක් ලෙසින් වෘක්ෂ වන්දනාව මෙම ස්ථානයේ සිදු කර ඇත. රජු පැමිණි ගමන් මාර්ගය වූයේ පැපිලියාන, බොරලැස්ගමුව, වේරහැර, බොකුන්දර, තුන්බෝවිල, මාමීපේ හරහා බටකැත්තර, බටුවන්දර කිදෙල්පිටිය හරහා රයිගම් දක්වා වැටී තිබූ ඵෙතිහාසික ගමන් මාර්ගයකි. රජු ප්‍රමුඛ මහාමාත්‍යාදින් එදා ගමන් බිමන් යාමේ දී ගැල්වල ගොනුන් බැද ඇත්තේ මෙම ස්ථානයේ ය. මෙහි වූ ගල්තලාව අසල තම පිරිවර සමඟ විඩා නිවා ගැනීමට පුරුදුව සිටියහ. දිනක් ගල් තලාව මතට පැමිණි පිරිස සුපුරුදු පරිදි ගව රැළ මෙහි ගාල් කොට ඇත.

“එහි තිබූ ගල් කණුවක සුදු පැහැති ගවයෙකු බැඳ තිබූ බවත් ගවයා නැවත ලීහා ගැනීම නොහැකි වූ බවක් කියැවේ.” පසුව රජතුමා මෙම ස්ථානයේ කතරගම දෙවියන් වෙනුවෙන් දේවාලයක් ඉදි කරන බවට බාරයක් වී ඇත. ඉන් අනතුරුව ගවයා ලිහා ගත හැකි වී ඇත. රජුගේ බාරය අනුව මෙහි මෙම දේවාලය ඉඳිකළ බව ජන ප්‍රවාදවල සඳහන් වේ. ගොනා බැඳීමෙන් සිදු වූ ආශ්චර්යය හේතුකොට ගෙන ඉදි වූ දේවාලය එතැන් පටන් “ගොනා බැඳි දේවාලය” නමින් ප්‍රසිද්ධ විය.

සටහන හා ඡායාරූප
නිශ්ශංක විජේරත්න

sub title : 
ඵෙතිහාසික ගොනා බැඳි දේවාලය

ඵෙතිහාසික ගොනා බැඳි දේවාලය