මල් සුකොමළ බවේ හා මටසිලුටු බවේ ප්‍රතිමූර්තිය යි. ඉන් සුගන්ධවත් මල් වනාහි බුදුන් පුදට යෑමක් කරණකොට ගෙන බෞද්ධයන්ගේ සිත් සතන් තුළ පහන් හැඟීම් උපදවන්නට සමත් වෙයි. වර්තමානය වන විට මල් යනු ඉතා හොඳ ආර්ථික උල්පතකි.

කෙසේ වෙතත් මල්, පහන්, සුවඳ කූරු ඇතුළු බුදුන් පුදන්නට අවශ්‍ය කළමනා එකම ස්ථානයක තිබීම, එය මිලදී ගැනීමට වුව හැකි අයුරින් තිබීම පාර්ශ්ව දෙකකට දෙවිදියකින් පහසුවකි. එක් පාර්ශ්වයක් වන්නේ මිලදී ගන්නවුන්ය. අනෙක් පාර්ශ්වය වන්නේ වෙළෙන්දන්ය. වෙළෙන්දන්ගේ ආර්ථික උපාය මාර්ගය මෙයයි. මේ, කතාබහට කේන්ද්‍ර වන්නේ පිල්ලෑව බෝ සමිඳු පුදන්නට යන බැතිමතුන් උදෙසා එහි සිදුවන වෙළෙද ගනුදෙනු ය.

නන් දෙසින් මේ පුදුබිම කරා ඇදී එන බැතිමත්තු තමන්ට අවශ්‍ය අඩුමකුඩුම අපහසුතාවකින් තොරව මෙහිදී මිලදී ගනිති. එපමණක් නොව ආපසු සිය නිවෙස් බලා යද්දී මතක සටහනක් ලෙසින් තබා ගැනීමට හෝ යමක් මේ ස්ථානයෙන් මිලදී ගෙන යෑමට අමතක නොකරති. ඒ අතර බුදු පිළිම ඇතුළු නොයෙකුත් රාමු කරන ලද පිංතූර යනාදිය වෙයි.

රාජ්‍ය අනුග්‍රහය ද මැද වෙළෙන්දන්ගේ පහසුව තකා වෙළෙද කුටි තනා දී ඇත.පොහෝ දිනයන්හි හා නිවාඩු දිනයන්හි දී ද අධික බැතිමතුන් සංඛ්‍යාවක් මේ දෙසට ඇදී එති. ඇතැම් බැතිමතුන් ද කාල වේලාව ඇතිව සූදානම් වී වන්දනාමානයට පැමිණිය ද ඇතැම් අය ක්ෂණිකව ගත් තීරණයකින් පිල්ලෑව පසුකරද්දි මෙහි පැමිණ වැද පුදා ගැනීමටත් බෝ සමිඳුගේ ආශිර්වාදය ලබා ගැනීමටත් උත්සහ කරති. මෙවන් බැතිමතුන්ට මේ වෙළෙඳ කඩපිල් හේතුවෙන් අනුපමේය මෙහෙයක් සැලසෙයි.

වෙළෙඳ ප්‍රජාවගේ පාර්ශ්වයෙන් බැලූ කල මේ ඔවුන්ගේ ප්‍රධාන ආර්ථික මාර්ගයයි. තම ජීවිතය ජීවත් කරවන එකම ආර්ථික මාර්ගය යි. එතෙරම් වෙහෙසක්, මහන්සියක් නොවී තමා අවටින් සොයා ගන්නා මල්, පහන් ඇතුළු දෑ බැතිමතුන්ට ලබා දී මුදල් උපයන්නට කාන්තාවෝද පෙලඹී සිටිති.

තවත් පාර්ශවයක් ද සිටී. ඔවුන් සාස්තරකරුවෝ ය. ඇතැමුන්ගේ අත බලා සාස්තර කියා ගනුදෙනුකරුවන්ගෙන් මුදල් ගනිති. මේ ආකාරයේ නොයෙක් සැගවුණු ව්‍යාපාරයන් ද මේ වටා ගොඩනැගී තිබේ. කෙසේ වෙතත් පිල්ලෑව බෝ සමිඳුගේ ආශිර්වාදය ලබන්නට මෙහි පැමිණෙන බැතිමතුන් ද බැතිමතුන් නිසා ජිවිතය ගොඩ නගාගන්නට උත්සහ කරන වෙළෙන්දෝ ද, මේ දේපාර්ශ්වයත් පිල්ලෑව බෝ සමිඳුත් අතර පවත්නේ අන්‍යෝනය බැඳීමක් බව නොකියාම බැරිය.

ශ්‍යාමා සමරසිංහ

ඡායාරූප - නිශ්ශංක විජේරත්න

Location name: 

බුදුන් පුදන්නට අපෙන් මල්