ගමන් මාර්ගය හා පිහිටීම -

කොළඹ හොරණ මාර්ගයේ පැපිලියාන පසු කර යන විට හමුවන බොරැලස්ගමුව ප්‍රදේශයේ පිහිටා ඇත.

විශේෂත්වය-

ජනයාගේ ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කර දෙන බෝධීන්වහන්සේනමක් ලෙස ප්‍රචලිතව ඇත.

 

වරින් වර හමා එන සුළග බෝ පත්වල ගැටේ. ඒ බෝ පත්වල ගැටෙන සුළගෙන් හමා එන සිසිලස සිතට මෙන්ම ගතටත් පුදුමාකාර සිසිලසක් හා ජීවයක් ගෙනදෙමින් තිබේ. එක්කෙනකු දෙන්නෙකු නොව මේ පින් බිමට පැමිණෙන සෑම කෙනෙකු ම ඒ සිසිලස විදගන්නේ පුදුමාකාර භක්තියකින් හා සතුටකින් ය. දහසකුත් ප්‍රශ්න මෙන්ම ප්‍රාර්ථනා පොදි බැදගෙන එන ඒ මිනිසුන් මේ භූමියෙන් නික්ම යන්නේ ඒ සියල්ලම ඉටු කරගත් මිනිසුන් ලෙසය. කොළඹ හොරණ මාර්ගයේ පැපිලියාන ප්‍රදේශය පසුකරමින් ගමන් ගන්නා විට හමුවන බොරලැස්ගමුවට ආසන්නයේ ඒ ඵෙතිහාසික පිල්ලෑව බෝධීන්වහන්සේ වැඩම සිටින භූමිය පිහිටා තිබේ. 06 වැනි පරාක්‍රමබාහු රජ සමයේ ස්ථාපනය කරනු ලැබු බවට සැලකෙන මෙම බෝධීන් වහන්සේ සතුව ඇත්තේ ද සුවිශේෂී ඉතිහාසයක් මෙන්ම කතාවකි.

දැනට ලොව පැරැණිම වෘක්ෂය ලෙස සැලකෙන්නේ ජයසිරිමහා බෝ සමිඳුය. එම බෝ සමිඳුගේ පළමු

අෂ්ඨඵල බෝධී ශාඛාවන්ගෙන් පසුව හට ගනු ලැබූ දෙතිස් ඵල බෝධීන්ගෙන් එකක් වශයෙන් මෙම පිල්ලෑව බෝධීන්වහන්සේ හඳුනාගෙන ඇත. එහෙත් මෙය කවුරුන් විසින් රෝපණය කළේ ද යන්න හඳුනාගෙන නැත.

විජයබාහු රජතුමාගේ පුත්‍ර මායාදුන්නේ කුමාරයා සතුරන්ට විරුද්ධව සිය හමුදාව රැස් කරගෙන ඇත්තේ වර්තමානයේ අප හඳුන්වනු ලබන බොරලැස්ගමුව ප්‍රදේශයේ දී ය. “බලය රැස් කළ ස්ථානය” යන්න පසුකාලීනව “ බල රැස් කළ ග්‍රාමය” බොරලැස්ගමුව වශයෙන් නාමකරණය වී ඇති බව ව්‍යවහාරයේ සඳහන්ව තිබේ. මායාදුන්නේ කුමාරයා යුද ජයග්‍රහණයෙන් පසුව මෙම ස්ථානයට පැමිණ බෝධීන් වහන්සේ ඉදිරිපසින් ගලා ගිය දිය පහරෙන් නා, පිරිසුදු වී රාජාභරණ හා රජ ඇඳුම් ඇදගෙන පළමුව මෙම ඵෙතිහාසික බෝධීන්වහන්සේ වෙත පැමිණ වැඳු පුදා ආශිර්වාද ලබාගෙන ඇත. මෙහි ඵෙතිහාසික කරුණු අධ්‍යනය කිරීමේදි මෙම ස්ථානයෙන් පසුකාලීනව හඳුන්වනු ලැබු පරංගි ඇළ ගලා ගොස් ඇති බවට සනාථ වී තිබේ. රජු මෙම ඇළෙන් නා පිරිසුදු වී සිය වස්ත්‍රාභරණ නැතිනම් “පිළි“ මෙම ස්ථානයේ සිට ඇඳගත් හෙයින් මෙම ප්‍රදේශය පිල්ලෑව ලෙසත් එහි පිහිටි බෝධීයට පිල්ලෑව බෝධිය ලෙසත් හැඳින්වීමටත් පසුකාලීනව බොහෝ දෙනා පෙලඹී තිබේ.

නුවන් කොඩිකාර

ඡායාරූප -නිශ්ශංක විජේරත්න

Location name: 
sub title : 
ප්‍රාර්ථනා ඉටු කරන පිල්ලෑවේ බෝධිය

ප්‍රාර්ථනා ඉටු කරන පිල්ලෑවේ බෝධිය