වටේම පිහිටි විල් පිසගෙන හමා එන මඳ සුළඟ ගතට දැනවුයේ සුවදායි සනීපවත් බවක්. තවම පරිසරය නම් ගිනියම්, වෙලාව සවස 5.00 විතර වෙලා වුණත් හිරු නම් සඳ එළියට පායා එන්න ඉඩදෙන්න සුදානමක් නෑ වගේ. ඒත්, හිරු අහසේ ගිනිගෙන දැවෙන නිමේෂය නම් ගෙවිලා ගිහින්. එක පැත්තකින් ඇතුළ නොපෙනෙන විදියට හිරුගෙන් මිහිකත මුවා කරගෙන සිටින දැවැන්ත වෘක්ෂලතා නෙතට එක් කරන්නේ අපුර්ව සිසිලසක්.

බෙල්ලන්විල කිව්වම අපිට එක පාරටම මතක් වෙන්නේ බෙල්ලන්විල රජ මහා විහාරය.

ඓතිහාසික වටිනාකමින් ආඪ්‍ය මේ රජ මහා විහාරයත් එක්කම තිබුණු වෘක්ෂ ලතාවලින් හෙබි නීලවර්ණ අභය භූමිය ඔබට මතක ඇති. දැන් ඒ අභය භූමිය වටා ඔබේ ශරීර සෞඛ්‍ය රැක ගන්න ඕනේ නම් නිසංසල පරිසරයේ සොබාව සෞන්දර්ය විඳිමින් ඇවිදින්න පුළුවන් විදියේ සුන්දර මාවතක් තනා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි පාපැදි පදින්න ඕනේ නම් ඒ සඳහාත් මේ ස්ථානය කදිමයි.

ඔබ දන්නවද බෙල්ලන්විල අභය භූමිය පිහිටි ප්‍රදේශයේ එදා තිබුණේ විශාල විලක් බව. කාලයාගේ අවෑමෙන් මේ විල ගොඩවෙලා එහි විවිධ වෘක්ෂලතා වැවුණා. මේ විල ගොඩවුණේ වෙල්ආත්තා කියන ආක්‍රමණික ශාකයෙන්. ඒ ආක්‍රමණික ශාකවලින් වැහී තිබුණ බිම යළිත් හාරලා ඒ විල වටා තැනූ කුඩා මාවතක් තමයි දැන් ඔබට මේ අපුර්ව සුළඟ විඳිමින් ඇවිදින්න හැකි ආකාරයට තනා තිබෙන්නේ. ඇත්තෙන්ම පෙර ඔබ බෙල්ලන්විල ප්‍රදේශයට යද්දි දැකපු පරිසරයට හාත්පසින් ම වෙනස් පරිසරයක් අද තිබෙන්නේ. පරිසරය කොයිතරම් සුන්දරව ගොඩනඟලා තිබුණත් මේ සුන්දර බව පිටුපස්සේ අසුන්දර පරිසර විනාශයක් තිබෙනවද කියලා මගේ සිතට දැනුණ සැකය නිසාම මම පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධනගෙන් මේ ගැන විමසුවා. එතුමා නම් පවසන්නේ අභය භූමියට මේ නව ඉදිකිරීමෙන් හානියක් වුණේ නැහැ කියලයි. පොඩිම හානියක් වීමටවත් පරිසරයට හිතැත්තෝ කොහොමත් ඉඩ දෙන්නේ නැහැ.

මේ සුන්දර නිදහස් ප්‍රදේශය වැදගත් වෙන්නේ එහි පරිසරය වටා ඔබට අවශ්‍ය සියලු ම දේ එක්තැන් වෙලා තියෙන නිසයි. වැලි ඇතුරූ මාවත දිගේ ඇවිද එන හෝ තාර දැමු කුඩා මාවතේ සුළඟ කපාගෙන බයිසිකලයක් පැද එන ඔබේ පිපාසය සංසිඳුවන්න සිසිල් දොඩම් සකසා දෙන ස්ථාන පාර දෙපැත්තෙම තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඔබ විවිධ දේශිය කෑම රස විඳින්න කැමති නම්, විවිධ රටවල කෑම වර්ග වල රස අත්විඳින්න කැමති නම්, ප්‍රණීත පළතුරු බීමක් රස විඳින්න කැමැති නම් එහෙමත් නැත්තම් අයිස්ක්‍රීම්, කඩල, රටකජු වගේ දෙයක් කන්න කැමැති නම් මේ ඕනෑම දෙයක් තිබෙන අවන්හල් එකතුවක් මෙහි තිබෙනවා. ඒ විතරක් නෙවෙයි විවිධ අත්කම්, කලා නිර්මාණ, ගේ දොර අලංකරණ උපකරණ හා ආභරණ පවා මේ ස්ථානයේ මාර්ග දෙපස තබාගෙන විවිධ මිල ගණන්වල විකුණන වෙළෙන්දන් ඉන්නවා.

ඇවිදින මං තීරු නිසා අභය භුමි ප්‍රදේශය වෛවර්ණ අරුමෝසම් බඩුවලින් වගේම මිනිස්සුන්ගෙන් පිරිලා. ඇත්තෙන්ම ඒකාකාරී නාගරික බවෙන් හෙම්බත්වුණු මිනිස්සු තමන්ගේ මනස සුවපත් කරගන්න, මඳ ඉසුඹුවක් ලබා ගන්න බෙල්ලන්විල වගේ නගරයට ඉතා ආසන්න ප්‍රදේශයකට පැමිණීමට හැකිවීම ම කොයිතරම් දෙයක්ද?

සුමුදු චතුරාණී ජයවර්ධන

ඡායාරූප - නිශ්ශංක විජේරත්න

Location name: 
sub title : 
බෙල්ලන්විල වැලි ඇතිරූ මංතීරු....

බෙල්ලන්විල වැලි ඇතිරූ මංතීරු....