ඈතට විහිද ගත් නිල් ජල තලයන් ඊට ඉහළින් පැතිර ඇති නිල් අහසත් බැලූ බැල්මට එක් ව ඇතැයි පෙනී ගියත් මේ ඈත මෑත යා වෙන්නේ නිල් ජල තලයෙන්ම ය.

බොල්ගොඩ ජලාශය විල් දෙකකින් සමන්විත ය. එනම් ඉහළ බොල්ගොඩ හා පහළ බොල්ගොඩ වශයෙනි. විනෝදකාමීන් මෙන්ම පරිසර හිතකාමීන් ද නිතර දෙවේලේ ගැවසෙන්නේ පහළ බොල්ගොඩ වෙත ය. මේ පහළ බොල්ගොඩ අද සංචාරක පාරාදීසයක්ව හමාර ය. දෙස් විදෙස් සංචාරකයෝ විශාල වශයෙන් මේ පෙදෙසට ඇදී එති.

බොල්ගොඩ ජලාශය අත්තිඩිය, පිළියන්දල, මොරටුව. පාණදුර, කළුතර වැනි විශාල ප්‍රදේශයක් පුරා පැතිර පවතී. බැලූ බැල්මට පුංචි ඉඩක් සේ පෙනුණත් බොල්ගොඩ ජලාශයේ විශාලත්වය දකින්නට නම් බෝට්ටුවක නැඟී තරණය කළ යුතුම ය. බොල්ගොඩ ජලාශය අද්දර බෝට්ටු තොටුපළවල්, සංචාරක ලැගුම්හල්, සුවිසල් නිවෙස් මෙන්ම ඉවක් බවක් නැතිව ඉදි කළ ගොඩනැගිලි ද විල ඉවුරේ ගොඩ ගසා ඇති අප ද්‍රව්‍යය ද හේතුවෙන් පරිසරයේ සෞන්දර්යය විනාශ කර දමා ඇති අයුරු ද දැකගත හැකිය.

කඩොලාන පරිසරය ප්‍රමුඛ ජලජ ශාක ද ජලජ පක්ෂීන්, මසුන් වැනි ජලජ ජීවීන් ද මෙහි දී දැක ගත හැකියි. කුරුලු විශේෂ අතර සිබිල්ලා කිතලා, කොකුන් හා දිය කාවුන් ප්‍රධාන තැනක් ගනී.

ඕලන්ද යුගයේ දී රත්නපුර සිට කළුතර හා මීගමු කලපුව දක්වා භාණ්ඩ ප්‍රවාහනය කළේ මේ ජලාශය හරහා ය. ලී වලින් තනන ලද දැවැන්ත පහුරු මඟින් මේ භාණ්ඩ රැගෙන එනු ලැබිණි.

සමනල කන්ද සීසාරා ගලා එන කළු ගංගාවේ දැවැන්ත ජල ප්‍රවාහයෙන් බොල්ගොඩ ගඟ තොටුපළ කිහිපයක් පසු කර මුහුදට ගලා බසී. රුක්ගහතොටුපළ, ඉඳිගහ තොටුපළ, දිග්ගල තොටුපළ, කොස්පැලෑන හා පාලම්තොට ඉන් කිහිපයකි.

ප්‍රධාන දිස්ත්‍රික්ක දෙකකින් බොල්ගොඩ ගඟ වෙන් වී පවතී. ඒ කළුතර දිස්ත්‍රික්කය හා කොළඹ දිස්ත්‍රික්කය යි. ඒ දෙකෙහි මායිම බොල්ගොඩ ගංගාව යි. තවත් පැත්තකින් රත්න පුර දිස්ත්‍රික්කයත් එක් මායිමකි. කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල, මඩපාත, තුඩුව ග්‍රාමයේ හේන්මුල්ල තොටුපළ යානාදිය බොල්ගොඩ ජලාශයට වපසරය වෙයි.

බොල්ගොඩ ආර්ථික වශයෙන් ප්‍රධාන සාධකයකි. ග්‍රාමීය පරිසරයක් වන මඩපාත, පොල්හේන කහපොළ, ජඹුරලිය, දම්පේ ආදී ප්‍රදේශවල හට ගන්නා කොස්, දෙල්, විවිධ අල වර්ග පලා වර්ග, එළවලු ආදිය පානදුර ප්‍රදේශයට ප්‍රවාහනය කළේ ඔරු මාර්ගයෙනි. එසේම පසුකාලීනව පාලම් පාරුවෙනි. එමඟින් ප්‍රදේශවාසීන්ගේ ප්‍රවාහන පහසුවටත්, ආර්ථික ප්‍රගතියටත් මහත් ප්‍රගතියක් ඉන් ඉටු විය.

කරදිය හා මිිරිදිය මිශ්‍ර වූ ජලය හේතුවෙන් ජල පෝෂක ප්‍රදේශයක් ද වෙයි. ඉන් ස්වාභාවික සෞන්දර්යයට ඉටුවන මෙහෙය අපමණ ය.

ඇතමුන් මෙයට බොල්ගොඩ ගඟ කියති. තවත් සමහරෙකු බොල්ගොඩ ජලාශය වශයෙන් හඳුන්වති. එහෙත් එය ගඟක් ද ජලාශයක් ද නැතිනම් කලපුවක් දැයි යන්න තවත් සමහරු ප්‍රශ්න කරති. කෙසේ වෙතත් බොල්ගොඩ යනු මේ සියල්ලගේම එකතුවකි.

ශ්‍යාමා සමරසිංහ

ඡායාරූප - නිශ්ශංක විජේරත්න

Location name: 

සංචාරක පාරාදසයක් වන් බොල්ගොඩ ජලාශය