ශ්‍රී ලංකාවේ නගර මධ්‍යයේ ඇති ඔරලෝසු කණු අතරින් උසින් පළමු ස්ථානය හිමි කරගත් ඔරලෝසු කණුව මෙය යි. මීට දිගු ඉතිහාසයක් ඇත. මෙය ඉදි කර විවෘත කොට ඇත්තේ වර්ෂ 1953 දී ය. එදා පටන් අද වනතුරුම පිළියන්දල ජනතාවට වේලාව දැක්වීමේ මහඟු කර්තව්‍යය මේ ඔරලෝසුව විසින් ඉටු කරනු ලබයි. වෑවල පදිංචි දානපතිවරයෙකු වූ දෝන් සයිමන් විජේවික්‍රම සමරකෝන් මහතා විසින් තමාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙය ඉදි කොට ඇත. සිය ආදරණීය මව්පියන්ට පින් පිණිස ඉදි කළ මේ ඔරලෝසු කණුවේ උස අඩි 78 කි. පළල අඩි 16 කි. පොළොව මට්ටමේ සිට පාදම පඩිපෙළකින් සමන්විත ය.

පුරා විද්‍යාත්මක වටිනාකමක් ගෙන දෙන අභිමානවත් ඵෙතිහාසික දේපළක් වන මෙහි හෝරා යන්ත්‍ර 3 ක් තිබේ. ඒවා උසින් අඩි 04 ක් ද පළලින් අඩි 05 ක් ද වේ. මේවා වයින් කිරීමට සුවිසල් යතුරක් ද තිබේ. වයින් කිරීම සතියකට වරක් බැගින් සිදු කෙරේ. ඔරලෝසුවේ වේලාව හඬ නිකුත් වීමට චීනචට්ටි ලෝහයෙන් වාත්තු කළ විශාල ප්‍රමාණයෙන් ඝණ්ටාර 3 කි. විනාඩි 15 සහ 30 එක් ඝන්ටාරයකින් ද විනාඩි 45 තවත් එකකින් ද පැය 1 සිට 12 දක්වා අනෙක් ඝන්ටාරයෙන් ද හඬ නිකුත් වේ.

ඔරලෝසුවේ මුහුණත් 04 කි. එක් මුහුණක විශ්කම්භය අඩි 05 කි. විනාඩි කටුව අඩි 2 1/2 ක් ද පැය කටුව අඩි 2 ක් ද වේ. මුහුණත් 4 ම වේලාව ක්‍රියාත්මක වනුයේ එක් මැෂිමකිනි.

කුලුනින් මූණත් හතරේම ඔරලෝසු කටු විවෘතව තනා ඇත. අඩි 6 ක් පමණ පළල ඔරලෝසු බට්ටා එල්ලා ඇත්තේ අඩි 05 ක් පමණ දිග යකඩ යෂ්ටියකින් ය.

කැස්බෑව නගර සභාවේ නිල ලාංඡනය වන මේ හෝරා ස්ථම්භය පසුගිය කලෙක නිහඬ වී ඇත. කෙසේ වෙතත් පිළියන්දල ප්‍රදේශවාසීන් එහි වටිනාකම අවබෝධ කොට යළි නඟා සිටුවමින් ප්‍රතිසංස්කරණය කොට ඇත. කැස්බෑව ගැන සටහන් තැබීමේදී නගර මධ්‍යයේ ඇති මේ ඵෙතිහාසික වටිනාකමින් යුතු ඔරලෝසු කණුව ගැන සටහන් නොතබාම බැරි ය.

 

ශ්‍යාමා සමරසිංහ

ඡායාරූප - නිශ්ශංක විජේරත්න

Location name: 
sub title : 
පිළියන්දල ඔරලෝසු කණුව

පිළියන්දල ඔරලෝසු කණුව