කෝට්ටේ රාජධානියේ ආරම්භකයා වූයේ මහා පරාක්‍රමබාහු රජතුමාය. එතුමාගේ මව සුනේත්‍රා දේවිය වූ අතර පියා ළමැණි ජයමහලෑණ නැමැති ප්‍රභූවරයෙකි. සයවැනි පැරකුම්බා රජතුමා ශ්‍රේෂ්ඨ නරවිරුවකු බව අවිවාදයෙන් පිළිගැනේ. මේ සමයේ දී කෝට්ටේ රාජධානිය සාහිත්‍යමය, ආර්ථික, ආගමික හා අධ්‍යාපන අංශවලින් ඉතා ඉහළ මට්ටමක පැවැතිණි. ආගමික සිද්ධස්ථානයක් වශයෙන් ද, ශාස්ත්‍රීය අධ්‍යාපන ආයතනයක් වශයෙන්ද, ඉතා ඉහළ මට්ටමක ලා සැලකිය හැකි පැපිළියානේ සුනේත්‍රා මහාදේවි පිරිවෙන මෙතුමා විසින් ආරම්භ කරන ලදී. මහාචාර්ය මැන්දිස් රෝහණදීර ප්‍රකාශ කරන්නේ මෙය ක්‍රි.ව 1415 ත් 1417 ත් අතර කාල පරිච්ඡේදය තුළ කරවූවක් බවයි. මින් පෙනී යන්නේ මහා පරාක්‍රමබාහු රජු මුළු රටට ම අගරජු වශයෙන් ක්‍රි.ව. 1415 පත් වූ අලුතම මවු බිසව සිහිවීම පිණිස පැපිළියානේ සුනේත්‍රා මහාදේවී විහාරය කරවූ බවයි.

සද්ධර්මරත්නාකරය ලියැවුණ ක්‍රි.ව. 1417 වන විට පැපිළියානේ සුනේත්‍රා මහා දේවි පිරිවෙන අභිනවයෙන් කරවා තිබූ බව සඳහන් වේ.

කාලයාත්‍රා මවු බිසව වෙනුවෙන් පැපිළියානේ අභිනවයෙන් විහාරයක් කරවන ලෙසට යොදවා ඇත්තේ “සිකුරා මුදල් පොතුන්” නැමැත්තෙකි.

සයවැනි පරාක්‍රමබාහු රජතුමාගේ පුරෝගාමිත්වයෙන් ගොඩනංවන ලද මෙම සුනේත්‍රා මහාදේවි පිරිවෙන කෙතරම් ශ්‍රේෂ්ඨ පිරිවෙනක් ද යන්න එකල ලියවුණු ශාස්ත්‍රිය ලිපි ලේඛනවලින් හා සංදේශ කාව්‍යවලින් මනාව පිළිබිඹු කෙරේ. පරෙවි සංදේශය, කොවුල් සංදේශය හා ගිරා සංදේශයෙහි මෙම පිරිවෙණ පිළිබඳ ඉතා සිත්කලු වර්ණනාවක් දක්නට ලැබේ. තොටගමුවේ සිරි රහල් හිමියන් විසින් රචිත පරෙවි සංදේශයෙන් වෙහෙර වර්ණනා කර ඇත්තේ මෙසේය.

 

කරවා දෙමාලින් මුනි මැදුරූ

පුරවා සව් සිරින් කර තෙසිත පිවිතුරූ

කොවුල් සංදේශයේ ද මෙවැනිම වර්ණනා දක්නට ලැබේ.

 

ගිරා සංදේශයේ ද සුනේත්‍රා දේවි පිරිවෙණ පිළිබඳ චමත්කාර වර්ණනා ඇත.

රිවි සංදේශයේ ද සුනේත්‍රා දේවි පිරිවෙණ පිළිබඳ චමත්කාර වර්ණනා ඇත.

 

නොමඳ වියත් ගඟ රළ වැලසේ පුබුදු

නිබඳ දිමුත් සිවු පිරිසිදු සිල් පුරුදු

පැහැද මහත් මුනි බණ දෙසූ මෙහි පසිදු

නැමැද සුනෙක් මහ දෙව් පිරුවන් තෙරිඳු

 

ජනප්‍රවාදයනට අනුව මේ පිරිවෙනෙහි වැඩ විසූ නාගසේන නම් තෙර නමක් පෘතුගීසීන්ට එරෙහිව සිංහල ජාතික මෙහෙයවීමේ බලවේගයක් විය. නාගසේන හිමියෝ ගුප්ත ශාස්ත්‍රයන්හි පරතෙරට පත්ව සිටියහ. උන්වහන්සේ සතුව තිබූ සුවිශේෂ ධ්වනිවාහිනී යන්ත්‍රයෙන් ඈත සිට කරන කතා ඇසීමේ ශක්තිය වී යැයි සඳහන් වේ. පෘතුගීසීන් කෝට්ටේ රාජධානිය තමන් හට නතු කර ගැනීමට හැකි නොවීමේ හේතුව සිංහලයන් සතුව දළදාව තිබීම බව දැන එබැවින් දළදාව සොරා ගැනීමට රහස් කුමන්ත්‍රණයක් යෙදූහ. මෙම කුමන්ත්‍රණය නාගසේන හිමියන්ට දැන ගන්නට ලැබීමෙන් දළදා වහන්සේගේ ආරක්ෂාව පතා කෝට්ටේ දළදා මැදුරින් ගෙන්වා ගෙන මෙම විහාරස්ථාන යේ දින කීපයක් රඳවා තිබූ බව ජනප්‍රවාදයේ එයි. එබැවින් දළදා වහන්සේ වැඩි සිටි ස්ථානයක් ලෙසත් සුනේත්‍රා මහාදේවි පිරිවෙන් විහාරස්ථානයට බෞද්ධ ලෝකයාගේ විශේෂ ගෞරවයක් හිමි වී ඇත.

පැපිළියාන සුනේත්‍රා මහාදේවි පිරිවෙන භූමියෙහි ඇති පුරාවස්තු අතර කෝට්ටේ යුගයට අයත් යැයි සැලකිය හැකි සඳකඩ පහණක් වේ. එය දැනට බෝධිය සමීපයේ වූ පැරණි විහාරයෙහි පිටුපස දොරටුව අබියස සවි කර ඇත. මෙය කලාත්මක බවින් සංකීර්ණ නොවූ නිර්මාණයකි.

 

Location name: 
sub title : 
පැපිළියාන සුනේත්‍රා මහා දේවි පිරිවෙන

පැපිළියාන සුනේත්‍රා මහා දේවි පිරිවෙන