පිහිටීම-

කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පැපිළියාන බටහිර ග්‍රාම නිලධාරී වසමේ පිහිටා ඇත.

ගමන් මාර්ගය-

නුගේගොඩ -කොහුවල හන්දියෙන් දකුණට (120 මාර්ගය) පැපිළියාන හන්දියෙන් දකුණුට මීටර් 10 ක් පමණ එන විට දකුණු පැත්තේ මේ විහාරස්ථානය පිහිටා ඇත.

විශේෂත්වය-

06 වැනි පරාක්‍රමබාහු රජතුමා විසින් ඉදිකළ ඵෙතිහාසික විහාරස්ථානයකි.

 

මෙරට සමාජය තුළ ආගමික සහජීවනය, ආර්ථික හා දේශපාලනික ප්‍රබෝධය ඇති කිරීමට ප්‍රමුඛ ස්ථානයක් ගත් විහාරස්ථානයක් ලෙස පැපිළියාන සුනේත්‍රා දේවී පූරාණ රජ මහා විහාරය ප්‍රචලිතව තිබේ. ඉතා ජනාකීර්ණ ප්‍රදේශයකට යාබද මෙම විහාරය පිහිටා තිබුණද එහි පැමිණෙන බැතිමතුන්ට සිය ආගමික කටයුතු ඉතා පහන් සිත් ඇතිව සිදුකර ගැනීමට හැකි පරිසරයක් මෙම විහාරස්ථානය පිහිටි භූමිය වටා නිර්මාණය වී තිබේ.

කොට්ටේ රජ කළ 06 වැනි පරාක්‍රමබාහු රජතුමන් විසින් සිය රාජ්‍ය පාලන කාලයේදීකෝට්ටේ රාජධානිය මුල් කරගනිමින් පිරිවෙන් පහක් ඉදි කර තිබේ. ඉන් එක් පිරිවෙනක් ලෙස ඉදි කළ සුනේත්‍රා දේවී පිරිවෙන සිය මෑණියන් සිහිපත් වීම සඳහා ඉදි කර ඇති බව ඉතිහාසයේ සඳහන් වේ. පෘතුගීසීන්ගේ ආක්‍රමණයත් සමඟම සුනේත්‍රා දේවී පිරිවෙනත්, පන්සලත් යනුවෙන් ස්ථාන දෙකක් බවට පත්විය. පෞරාණික විහාරය, සංඝාවාසය, ගල් කණු ආදී පෞරාණික නටඹුන් අදටත් දැකගත හැකි අතර දැනට වසර 602 කට වඩා දීර්ඝ කාලයක සිට ඒවා පැවත එමින් තිබේ. ක්‍රිස්තු වර්ෂ 1415 දී ඉදි කරන ලද මෙම විහාරස්ථානය දෙස් විදෙස් කාගෙත් බුහුමනට පාත්‍ර වූ විහාරස්ථානයකි. පරවි, ගිරා කොවුල් සංදේශවල ද මෙම විහාරස්ථානය පිළිබඳව සඳහන් වන අතර දළදා වහන්සේ වැඩ සිටි ස්ථානයක් ලෙසින් ද ගෞරවයට පත්ව තිබේ.

 

සිය ගුරු බිසෝ හිමි සද නමිනි පිරිවෙන ක්

කරවා පැපිලියානෙහි මහ සඟන නොයෙ ක්

වසනූව දෙවූ වෙහෙරට පිවිසැ තොසිනූ ද ක්

ඉද සැතපී ගත සරතැස නිවා මද ක්

යන්න පරවි සංදේශයේ සඳහන්ව ඇති අතර කොවුල් හා ගිරා සංදේශවල ද මෙසේ සඳහන්ව ඇත.

 

සද දළනල විසිරුණු සමානේ

සද දෙව් දූලන පැළඹර දිසි වසානේ

මැද නිදිගන්නට සහයුරු වෙල සියානේ

දෙස නුඹ වඩින් වෙහෙරට පැපිලියානේ

 

රිවි නුඹ ගැබිව් බැස හෙන සිදූ බැබිලියානේ

සකි නුඹ නූබින් ගොස් වැද වෙහෙරට පැපිලියානේ

 

කෝට්ටේ දළදා මැදුරෙන් දළදා වහන්සේ පෘතුගීසීන් සොරා ගැනීමට කටයුතු යොදද්දී නාගාර්ජූන හිමියන් විසින් එය තමන්ගේ විශේෂිත වූ බෙරයෙන් පෘතුගීන්ගේ කතා බහ අසා ගෙන සිට දළදා වහන්සේ වැඩමවා ගෙන පැපිළියාන සුනේත්‍රා දේවී රජ මහා විහාරස්ථානයේ තැන්පත් කරමින් පුද පූජා පැවැත්වූ බව “දළදා වත” නම් ග්‍රන්ථයේ ද සඳහන් වේ.

නුවන් කොඩිකාර

ඡායාරූප-නිශ්ශංක විජේරත්න

Location name: 

පැපිළියාන සුනේත්‍රා දේවී රජ මහා විහාරය