දශක ගණනාවක සිට මෙරට අනුපමේය ශාසනික සේවාවක් සපයමින් සිටින බෙල්ලන්විල රජ මහා විහාරය පිහිටි බොරලැස්ගමුව ග්‍රාමය ද කොළඹ නගරය මෙන්ම නාගරීකරණයේ දඬු අඬුවට හසුවෙමින් පැවතියත් බෙල්ලන්විල රජමහා විහාරය අවට අතීතයේ පැවැති පාරිසරික දර්ශනය තවමත් තරමක් දුරට හෝ රැදී පවතින්නේ බෙල්ලන්විල රජමහා විහාරයේ අනුහසින් විය හැකිය.

ශක්තිමත් සංඝ පරම්පරාවකින් පැවත එන මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමිපාණන්ගේ විහාරාධිකාරීත්වය යටතේ පවතින බෙල්ලවිල රාජමහා විහාරයේ අතීතය දේවානම්පියතිස්ස රජ දවස දක්වා දිව යන්නකි. දෙවන පෑතිස් රජය සමයේ මෙරටට වඩම්මවන ලද ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවෙන් පැන නැගුණු දෙතිස්ඵල මහා බෝධීන් වහන්සේලාගෙන් එක් බෝධීන් වහන්සේ නමක් බෙල්ලන්විල පුද බිමෙහි රෝපණය කර ඇති බව සිංහල බෝධී වංශයේ සදහන් වෙයි. අතීතයේ පටන් මහත් අනුහස් ඇති බෝධීන් වහන්සේ නමක් වශයෙන් ප්‍රකට බෙල්ලන්විල බෝධීන් වහන්සේ සහ පුදබිම ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ සමයේ ද ගෞරව පුද පූජාවට ලක් වූ බව ඉතිහාසයේ සඳහන් වෙයි.

සයවැනි පැරකුම්බා රජ සමයේ මෙරට සාහිත්‍යයේ මෙන්ම බෞද්ධ ශාසනයේ ද පුනරුදයක් ඇති වූ කාලපරිච්ඡේදයක් ලෙස සැලැකේ. එම යුගයේ දී මෙරට ශාසනික සේවාවේ මධ්‍යස්ථානයක් වන පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙන බිහිවෙන අතර එහි වැඩ විසූ භික්ෂූන් වහන්සේලා බෝධි වන්දනාව සදහා බෙල්ලන්විල පුද බිමට පැමිණි බව සදහන් වන අතර සීතාවක යුගයේ දී ලියැවුණු වන සැවුල් අස්නෙහි බෙල්ලන්විල විහාරය පිළිබඳ සදහන් කර තිබීම ද මෙම පුද බිම එකල පවා ගෞරවාදරයට පාත්‍රව තිබූ බවට සාක්ෂියකි.

මුළු දීපයටම අඳුරු යුගයක් උදාවීම ඇරැඹුණේ 1505 දී සිදු වූ පෘතුගීසි ආක්‍රමණයක් සමඟිනි. ඒ හරහා මෙරට බෞද්ධ ශාසනය සහ සංස්කෘතියට එල්ල වූ බලපෑම අපමණ වේ. ඒ මහා කුණාටුවෙන් බේරී සිටීමට බෙල්ලන්විල පුදබිමට ද නොහැකි විය. සියවස් දෙකක් පමණ මහා කැලෑවේ ග්‍රහණයට හසුවීම මෙම පුද බිමේ යහපතට සිදු වූවක් බවට අපට සැලැකිය හැක්කේ එය අද දක්වා රටට කරනු ලබන ශාසනික සේවාව නිසා ය. එදා තවදුරටත් පෘතුගීසීන්ගේ ග්‍රහණයට හසුවූවා නම් අද වන විට අපට බෙල්ලන්විල පුදබිම හිමි නොවන්නට තිබිණි. ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආනුභාවයෙන් විනාශයට ලක් වූවත් නොනැසී පැවති ශ්‍රීි මහා බෝධීන් වහන්සේ සහ මේ පුද බිම නැවත මිනිස් පහස ලබන්නේ 1850 වර්ෂයේ දී ය. ඒ හේන්ගොඩගෙදර ස්වාමීන් වහන්සේ නිසාවෙනි. එය රසවත් කතාවකි. බෙල්ලන්විල පුද බිම ආසන්නයේ අත්තිඩියේ සිට පැපිලියාන දක්වා වූ කටු ඇල නම් ඇල මාර්ගයේ ඔරුවකින් ගමන් කරමින් සිටින අතරතුර එක් ස්ථානයක දී දවුල් තම්මැට්ටම් හඩක් ඇසී ඒ ඔස්සේ ගිය විට වනයේ සැගවී තිබූ මහා බෝධීන් වහන්සේ දැක ගැනීමට ලැබී ඇත. දවුල් තම්මැට්ටම් හඩ ඇසුණු නමුත් ඒවා වැයූ කිසිවකු නොවූයෙන් මෙතැන මහා හාස්කම් සහිත ස්ථානයක් බවට පසක් කරගෙන එතැන නැවත ආවාස ගෙයක් තනා පෙර තිබූ අසිරිය නැවත මතු කරගැනීමේ කාර්යයේ නියැලුණහ.

බෙල්ලන්විල පුදබිමේ අසිරිමත්ම යුගය ආරම්භ වූයේ 1941 වර්ෂයේ විහාරාධීත්වයට පත් ශ්‍රී සෝමරතන නාහිමයන්ගේ සමයේ දී ය. මහත් ප්‍රසිද්ධයක් උසුලන බෙල්ලන්විල මහ පෙරහර ආරම්භ වූයේ උන්වහන්සේගේ අනුදැනුම යටතේ ය. ඒ බෙල්ලන්විල ප්‍රදේශය පුරා පැතිර ගිය වසංගත තත්ත්වයන්ගෙන් මිදී සෙත් ශාන්තියක් අත්කරදීමේ අරමුණින් 1950 දී බෙල්ලන්විල මහා පෙරහර ආරම්භය සිදුවිය.

පී.කේ. බණ්ඩාර
ඡායාරූප - නිශ්ශංක විජේරත්න 

Location name: 
sub title : 
බෙර හඬින් සොයා ගත් බෙල්ලන්විල

බෙර හඬින් සොයා ගත් බෙල්ලන්විල